ජනතාවගෙන් පාර්ලිමේන්තුවේට පිවිසීම කලකට පෙර අපහසු එකක් වුවත් දැන් දැන් එය කිසිසේත්ම අපහසු එකක් නොවන බව පසුගිය මැතිවරණ කිහිපයම දෙස බැලු විට හොදින්ම වටහා ගත හැකිය. අතීතයේදී ජාතික ලැයිස්තුවේන් මන්ත්‍රීධුරය හිමිවන තැනැත්තන් පිළිබඳව ජනතාව තුල ඉහල ප්‍රසාදයක් සහිත අය සිටි අතර අදාළ පක්ෂයට හිමිවන මන්ත්‍රීධුර සදහා ජාතික ලැයිස්තුවේ අනුපිලිවලට පිටින් හෝ යැමට පක්ෂයේ මහා ලේකම්වරු කටයුතු කර තිබුනේ නෑ. දැන්නම් තත්ත්වය අන්තිම වෙනස්ය ඇතැම් ප්‍රධාන පක්ෂ වල පවා ජාතික ලැයිස්තුවේ ඉන්නා අය රටේ ජනතාව නොව තරග කරන අපේක්ෂකයන් පවා දන්නේ නැත. ඒ කතාව මේ කතාව සමගද ගැලපෙන ඇති.

ධම්මික දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ද ලබාගෙන අවසන්.ධම්මිකගේ නම පොදුජන එක්සත් පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස යෝජනා කොට මැතිවරණ කොමිසමට ද ලබාදී තිබේ. ඉතිරිව ඇත්තේ මන්ත්‍රී ධුරයේ දිවුරුම් දි ඇමතිකමේ දිවුරුම් දිම පමණී.ඒ අනුව ධම්මික පහුගිය කාලය තුල ලගින්ම ආශ්‍රය කල මෙන්ම සල්ලි වියදම් කල අය ධම්මිකට එපා වෙන්න සලකා ඇත.

ධම්මික පෙරේරා ඒ දැන් නාමයය.ඔහු මුලින්ම ජනප්‍රිය වන්නේ ‘කැසිනෝ’ ධම්මික ලෙසය. නමුත් වරස 10ක පමණ කාලයක් තුල ඔහු ධම්මික පෙරේරා විය. දුක දිනා ජයගැනීම, ව්‍යාපාරික ඥානය, නිර්මාණශීලි අදහස් සහිත යන විශේෂණ පද ධම්මික පෙරේරාගේ නම සමඟ ගැට ගැසීම ආරම්භ වූවේ ඔහු ලංකාවේ ලොකුම පෝසතා බව තහවුරු වීමෙන් පසුවයි. ඉන් පසු කැසිනෝ ධම්මික යන නම සියල්ලන්ට අමතක විය.

ඉන්පසු ධම්මික පෙරේරා දුක දිනා ජයගන්නා හැටි, ලංකාව දියුණු කිරීම වෙනුවෙන් අලුත් තාක්ෂණය යොදාගන්නා හැටි ගැන දේශන පැවැත්වීම ආරම්භ කරන ලදී. විශේෂයෙන් ලංකාවේ තරුණ පරපුර අතර රට හැදීමේ විශේෂ හැකියාවක් ධම්මික පෙරේරා සතුව ඇති බවට මතයක් පැතිරීම වෙනුවෙන් ධම්මික පෙරේරා විශේෂයෙන් මැදිහත්විය. එසේම රතුපස්වලදී පිරිසිඳු වතුර ඉල්ලූ ජනතාවට ගෝඨාභය රාජපක්ෂලා වෙඩි තැබුවේ ධම්මික පෙරේරාගේ සමාගම ආරක්ෂා කිරීමට බව ලොකුවට කරළියට පැමිණියේ නැත.

‘කුණු ධම්මික’

රතු පස්වලින් යටවු ධම්මික නාමය තරමකට හෝ පළුදු වී ගියේ ධම්මික පෙරේරාට අයත් හේලීස් සමූහයට අයත් සමාගමක් සායනික අපද්‍රවය ඇතුළු අපද්‍රවය කන්ටේනර් ගණනක් මෙරටට ගෙනැවිත් ඇති බව හෙළිවීමෙන් අනතුරුවයි. ඉන් පසු ධම්මික පෙරේරාට ‘කුණු ධම්මික’ නමින් නමක් පටබැඳුනි.

එසේම පසුගිය කාලයේ ධම්මික පෙරේරා පාලකයන් සමඟ ඩීල් දමා පිටරටින් ටයිල් ගෙන ඒම සීමා කර තමන්ගේ ව්‍යාපාර හරහා කෝටි ගණන් ලාභ ලැබූ බව රහසක් නොවේ. ඔහුගේ අලුත්ම සෙල්ලම වූවේ අධ්‍යාපනය පෞද්ගලීකරණය සඳහා විශාල ප්‍රාග්ධනයක් යෙදවීමයි. පසුගිය කොවිඩ් සමයේ ඒ බව පැහැදිලිව පෙනුණි.

“පොර ටෝක්ස්”

පසුගිය කාලයේ නයි නටවන්නාගේ නාලිකව හරහා විවිධ ආර්ථික ක්‍රමවෙදයන් පිළිබඳව ජනතාවට “පොර ටෝක්ස්” දි කොර කල අතර, මෑතක දී ඔහු ජනාධිපතිවරයා සමඟ හමුවකට එක්වෙමින් රට වැටි ඇති ආර්ථික අර්බුදයෙන් ලංකාව ගොඩගැනීමට ඩොලර් ගෙන හැටි ගැන ‘ටෝක්ස්’ දෙනු ප්‍රධාන මාධ්‍ය සියල්ලක් වාර්තා කර තිබුණි.

ධම්මිකට එරෙහිව ඇති ප්‍රධානම චෝදනාව වන්නේ බදු වංචා කිරිමයි. ඒ සදහා රාජපක්ෂ පවුලේ මෙන්ම විවිධ දේශපාලඥයන්ගෙන් උදව් ලැබුන බව නොරහසකි. නොලැබුනා නම් නොලැබුනේ ඔය මන්ත්‍රීකමක්වත් පාර්ලිමේන්තුවේ නැති පක්ෂයකට පමණී.

ධම්මික පෙරේරාගේ මල්ලිගේ නම යටතේ තිබෙන බේලිස් කැසිනෝ ආයතනය රුපියල් මිලියන 570ක් බදු පැහැර හැර තිබෙන බව පසුගිය කාලයේ අනාවරණය විය.ධම්මිකගේ කැසිනෝ නිසා විනාශ වූ ලංකාවේ ව්‍යාපාරිකයන් සහ ඉහළ පෙළේ නිලධාරීන්ද රැසක් සිටි.සක්විති රණසිංහ, CIFL මූල්‍ය සමාගමේ දීප්ති පෙරේරා, වැට් බදු වංචාවට අසුවූ හිටපු ආදායම් බදු කොමසාරිස් ජයතිලක, හිටපු ආණ්ඩුකාර මුසම්මිල්, ප්‍රීති විරාජ් වීරරත්න, සුනිල් ටී ප්‍රනාන්දු, වෝර්ඩ් ප්ලේස් සුනන්ද ජනතාවට මතක ඇති නම් කිහිපයකි.

සල්ලි ඤාව් ඤාව් කියන්නෙ නෑ!

අපිට සදාචාරාත්මකව රැස්කරගත් මහා ධනස්කන්ධයන් පිටුපස සුලමුල සොයාගියහොත් කුමක් ‍හෝ සදාචාරාත්මක නොවන කටයුත්තක් හමුවන බව නම් විශ්වාසයි.යුරෝපයට මහා ධනස්කන්ධයක් එක්වුනේ අප්‍රිකා මහාද්වීපයේ ජනතාව තලා පෙලා වහල්කරගෙන ඔවුන්ගේ බිම්වල තිබුණු වටිනා දෑ කොල්ල කැමෙන් ය. අමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ තියෙන දියුණුම රටයි. නමුත් ඒ රටට තියෙන්නෙ ස්වදේශිකයන් විනාශ කොට වහල්ලුන්ගෙන් වැඩගත්ත ඉතිහාසයක්. අපි ඔවුනට දැන් කොල්ලකරුවන් කියන්නේ නැහැ. මානව හිමිකම් ඉහලින්ම රකින දියුණු රටවල් ලෙසයි හඳුන්වන්නේ. නමුත් අතීතය වලදැමිමද පහසු කටයුත්තක් නොවේ.

සල්ලි හම්බ කල අකාරය වැදගත්ද? මන්ද සල්ලි කෙසේ හම්බ කලද එසේ රැස්කරගන්න ධනය පසුව ගෞරවනීය බවට පත්වෙනව.මේක හුදී ජනයාගේ බාසාවෙන් කියනව නම් “බළල්ලු මරල හම්බ කරත්, සල්ලි ඤාව් ඤාව් කියන්නෙ නෑ.”

හොද මෙන්ම නරකද මිනිසුන්ගේ ඇත. රට වැටි තිබේන අගාධයෙන් ගොඩ ගැනිමට දැන් ධම්මිකට අවස්ථාව ලබි තිබේ.ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස වසර ගණනක් කටයුතු කරද්ද නොගෙනෙන ලද ඩොලර් දැන් ගේන්නේ කෙසේද යන්න ධම්මික රටේ ජනතාවට කියා දිය යුතු නැත, කර පෙන්වා දිය යුතුය.

අනිත් අතට දවසෙන් දෙකෙන් ජනප්‍රිය වි යන එන මං නොමැතිව පාරටම වැටුන “ධම්මික පැණීය” හැදු ධම්මික ගොඩ වෙද්දුද රටේ සිටි බව ජනතාව මේ අවස්ථාවේ මතක් කර සිටි. ඒ ඒ ධම්මිකය මේ ධම්මික කුමක් කරනු ඇද්ද? ජනතාව බලා සිටිනු ඇත.

-විශේෂ ලියුම්කරු-


Top