ශ්‍රී ලංකාවේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ සහ යාපනය සහ යුරෝපා රටවල විකාශනය වන ‘ඩෑන්’ රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්‍ෂක එස්.එන්.කුගනාදන් යන දෙදෙනාගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීමට කොළඹ අධිකරණයේ විනිසුරුවරයා අවසරය ලබාදී තිබෙන බව ලංකා ක්වික් අනාවරණය කර සිටි. 

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්‍ෂක මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණට, විදේශීය බැංකු වල මුදල් තැන්පත් කර ඇති බවට චෝදනා එල්ලකර ඇත. ඔහු සමග ඒකාබද්ධ වී අයථා ලෙස මුදල් රැස්කල බවට ‘ඩෑන්’ රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්‍ෂක එස්.එන්.කුගනාදන්ටද චෝදනා එල්ලකර තිබේ.

ඔවුන්ගේ බැංකු ගිණුම් සහ ගණුදෙනු පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයා විසින් 2015.06.08 වන දින මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට අවසරය ලබාදී ඇති අතර 2009 වර්ෂයේ සිට මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ සහ ඔහුට හිතවත් පුද්ගලයින්ගේ මුදල්, ‘ඩෑන්’ රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්‍ෂක එස්.එන්.කුගනාදන්, ලැක්සන් බර්ග් හි ඇති මූල්‍ය ආයතන වල ආයෝජනය කර ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර ඇත. මේ පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් පවත්වා, 2015.07.02 වන දින වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණ, කොටි සංවිධානය පරාජය කිරීම සඳහා බුද්ධි මෙහෙයුම් සැලසුම් කල පුද්ගලයෙකු වේ. 2009 මැයි මස 18 වන දින සන්නද්ධ සටන අවසන් වූ පසු, විදේශ රටවල කොටි සංවිධානයේ ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේදී ඔහු විශාල දායකත්වයක් ලබාදී තිබේ. 

ආරම්භයේ හමුදා බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂකවරයා ලෙස සිටි ඔහු, පසුව රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇත. මේ වනවිට පවත්වන පරීක්‍ෂණ මගින්, සරණාගත දෙමළ ජනතාව මධ්‍යයට ශ්‍රී ලංකා බුද්‍ධි අංශ සාමාජිකයින් ඇතුළුවීම පිළිබඳ තොරතුරු අනාවරණය වීමට ඉඩ විවර වි තිබේ.

Top