වීර වෙස් ගත් පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් කැදවා පවසා සිටියේ යුධ අපරාධකරුවන්ට දඬුවම් දිය යුතු බවකි.

සමන් රත්නප්‍රිය මහතා වෘත්තියෙන් හෙද සේවකයෙකි. ඔහු සිය රාජකාරියේ නියුතුව සිටියදී යුද්ධයෙන් අත් පා අහිමි වූ සහ මිය ගිය රණ විරුවන් මෙන්ම කොළඹ පිපිරූ බෝම්බවලින් තුවාල ලැබූ සහ මියගිය සිවිල් වැසියන් ද දකින්නට ඇත. එය ඔහු නිරතුරු දකින දර්ශනයක් වන්නට ද ඇත.

මා මෙන්ම ඔහුද යුද්ධයට ගියේ නැත. නමුත් මට මෙන්ම ඔහුටද මරණ බියෙන් තොරව දිවි ගෙවත හැකි රටක් අද නිර්මාණය කර දුන්නේ මරණය සිය දෝතින්ම ගෙන ඉදිරි ආරක්ෂක වළල්ලට ගිය ඒ මිනිසුන්ය. රත්න්ප්‍රියලා යුධ අපරාධකරුවන් යයි හංවඬුගසන මිනිසුන්ය.

“යුද්ධය අන්තිම කාලෙදි අපිට එක දිගටම ගහන්න උනා. රෑ දවල් කියලා වෙනසක් නෑ. අපි නැවැත්තුවොත් උන් ගහනවා. ඒක නිසා එක දිගටම ගහන්න සිද්ධ උනා. නිදා ගත්තේ නෑ. එළිවෙනවා කියලා කළේ දත් ටික පොඩ්ඩක් මැද ගන්න එක විතරයි. සපත්තු මේස් ගලවන්න බෑ. ඒවා හමට යා වෙලා. අපිත් එක්ක උදේ කතා කරන යාළුවෝ හවස් වෙද්දි මැරිලා. ඒක ලොකු පීඩනයක්. හෙට මට ඒ දේ වෙන්න පුළුවන් කියන දේට හිත හදා ගෙන තමා අපි හිටියේ. අපේ දරු පවුල් කොයි මොහොතක හරි තනි වේවි කියන හැඟීම සැරෙන් සැරේ හිතට ආවා. එහෙම කරපු අපිට දැන් යුධ අපරාධකාරයෝ කියලා මේ රටේම උන් කියනවා ඇහෙනකොට දුක හිතෙනවා. ”

මේ දැන් ටික දිනකට පෙර රණ විරුවෙකු මා හා පැවසූවකි. අප මේ මිහිපිට තබා යන අඩියක් අඩියක් පාසා මේ මහපොළොව යට මිහිදන්ව සිටින රණ විරුවන්ට ණය ගැතිය. ඔවුන්ගේ වියෝව උසුලා සිටින දරුවන්ට දෙමාපියන්ට සහ වැන්ඹුවන්ට ණයගැතිය. නමුත් අපේ සමාජයේ තම වාසිය වෙනුවෙන් ඕනෑම පාදඩ වැඩක් කළ හැකි බල්ලෝ සිටිති. පුරවැසි බලය නියෝජනය කරමින් සමන් රත්නප්‍රිය මහතා පවසන්නේ යුධ අපරාධ කරුවන්ට දඬුවම් දිය යුතු බවකි. මේ පාදඩයින්ට වුවමනා සමාජ සාධාරණත්වයක් නැත. මොවුන් ක්‍රියා කරන්නේ සිය ස්වාමිවරුන් විසින් තමනට කුළි පදනම මත ලබා දුන් කොන්ත්‍රාත්තුවට අනුවයි. දැන් ඔවුනට භාර දී ඇති කොන්ත්‍රාත්තුව වී ඇත්තේ රණ විරුවන්ගේ ප්‍රතිරූපය කෙළෙසමින් ඔවුන් අපරාධකරුවන් බවට පත් කළ හැකි ආකාරයේ පොදුජන විඥානයක් සකස් කරලීමට උපකාර කිරීමයි.

මේ බඩගෝස්තරවාදීගේ තර්කය වන්නේ වැරදි කර ඇත්නම් දඬුවම් ලබා දිය යුතු බවය. නමුත් මේ දඩ බල්ලෝ සන්දර්භය පසෙක ලා වියුක්තව අදහස් ඉදිරිපත් කරමින් ඒවා සමාජගත කරලීමට උත්සාහ ගනිති. එය වැරදි අදහසකි. අපි කතා කරන්නේ යුද්ධයක් පිළිබඳවය. මේ රටට නිදහසේ හුස්ම ගැනීමට සැලැස්වූ මිනිසුන් පිළිබඳවය. ඒ වෙනුවෙන් සිය මරණය දැක දැක සටන් වැදුනු මිනිසුන් පිළිබදවය. ඇමති වරදාන ඉදිරියේ ජනමතය අළුයම ළූ කෙළ පිඩක් සේ ඉවත දමන මහජන නියෝජිතයන් සහ උන්ගේ හෙංචයියන් විසින් අද ප්‍රශ්න කරන්නේ මරණය ඉදිරියේ සිටි මිනිසුන්ගේ හැසිරීමය. අනෙක ඒ ප්‍රශ්න කිරීම සිදු වන්නේම තමනට අවැසි නිගමනය කෙසේ හෝ ලබා ගන්නා සුපිරි බලවතුන්ගේ පාමුල දණින් වැතිරවන ලද නීතිමය රාමුවකට සිර කරන්නට යන පද්ධතියක් තුළය. තමාට අවශ්‍යය තීන්දුවම ලැබෙන තුරු නොසංසිදෙන පිපාසයකින් කටයුතු කරන බටහිර බලවතුන්ට යටත් කරන ලද සැකැස්මක් තුළය.

අපි වෙනුවෙන් අපි යන සංකල්පය අද උඩු යටිකුරු කිරීම සමන් රත්නප්‍රියලාට භාර දී ඇති කුළී වැඩය වේ. අපි වෙනුවෙන් කවුරුවත් නැති කිරීමේ මානසික මෙහෙයුමට උදවු කිරීම සඳහා බුරලෑම පිණිස තෝරා ගත් තවත් බල්ලන් පිරිසක් ඉදිරියේදී අපට දැක ගන්නට ලැබෙනු ඇත. ඒ අතර විද්වත්තු කියන අය සහ කලා කාරයෝ මෙන්ම චීවරධාරීහු ද සිටිනු ඇත. කුමන වේශයකින් පැමිණියත් බල්ලන් බල්ලන් ලෙස හඳුනා ගැනීමට අප සමාජය අසමත් වුවහොත් අවසානයේ අපි වෙනුවෙන් එකෙක්වත් නැතිවනු ඇත. මේ අනතුර වටහා ගෙන අප කළ යුත්තේ බල්ලන් කවුදැයි පෙන්වාදීමයි. බල්ලන්ට බල්ලා යැයි කීමයි. එසේ නොකොට උන් සාන්තුවරයින් සේ පෙනී සිටිනු වළකනු නොහැක.

රත්නප්‍රියලාට රණවිරුවන්ට බුරන්න බාර දෙත්දී රනිල් සහ සිරිසේන වහාම මාධ්‍යකරුවන් කැදවා ජිනීවා සිද්ධිය පිළිබඳ මාධ්‍යය දැරිය යුතු මතය කියා දුන්නේය. අපගේ තොරුතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කිඹුල් කඳුළු හෙළමින් සිරිසේනට සහ රනිල්ට කඩේ ගිය රත්නප්‍රියලාට මෙන්ම උගතුන්ට ද රනිල් ලාගේ සිරිසේනලාගේ මේ මාධ්‍ය තරවටුව නොපෙනේ.

ඉදිරියේදී ඉන්දියාවට සහ බටහිරට යටත්ව සිය න්‍යාය පත්‍රය දිගහැරුම සඳහා ජනතාව පරාධීන මානසිකත්වය ඇති වහලුන් පිරිසක් බවට පත් කර ගත යුතුය. එවිට රණවිරුවන් යුධ අපරාධකරුවන් සේ හංවඬු ගසා මරණ මංචකය වෙත දක්කාගෙන යද්දි “පව්කාර කාලකන්නි” කියා අහක බලා ගෙන තමාගේ දෙකහමාර බේරාගෙන සිටිනා සමාජයක් ගොඩ නගා ගත හැකිය. මේ රටේ මිනිස්සු එසේ කරන්නට බැරි මිනිසුන් නොවේ. නමුත් රට වැසියන්ව මෙතැන සිට එතැනට දක්කාගෙන යා යුතුය. ඒ සඳහා දැන් අවශ්‍ය වන්නේ එළියට බැස රණවිරුවන්ට බුරන බල්ලන් කිහිප දෙනෙකි. ඒ සඳහා බල්ලෝ එළි බසින කාලයයි මේ.

ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය

Top