විශේෂාංග

දැන්ම අහන්න එපා! මේ ආණ්ඩුව පෙරළන්නෙත් ආප්ප කාලමයි

පසුගිය කාලයේ ඇතිවූ ගංවතුර තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කිරීමට ආණ්ඩුවට නොහැකි වුණා. මෙහෙමයි චෝදනා කළේ?

ඔව්. ඒක ඇත්ත. ගංවතුර තත්ත්වයේදී මේ තරම් විනාශයක් නොවී ජීවිත බේරගන්න තිබුණා. මේ ගැන ආණ්ඩුව නිසි කළමනාකරණයක් කළේ නැහැ. සෑම වසරකම වාගේ ගංවතුරක් එනවා. මේ පාර ගංවතුර ආවේ වෙනදට වඩා ඩබල් වෙලා. ඒක තේරුම් ගන්න ආණ්ඩුවට බැරි වුණා.

ගංවතුරක් කොහොමද කළමනාකරණය කරන්නේ?

කාලගුණ එක තියෙනවා. ආපදා අමාත්‍යාංශයක් තියෙනවා. මේ අයගේ යම් සම්බන්ධයක් එකට තියෙනවනම් මේ විදියට වහින කොට මේ ආයතන දෙකට පුළුවන් වෙන්න ඕන ඒක කලින්ම කියන්න. එහෙම දෙයක් වුණේ නෑනේ.

වෙනදත් එහෙම වුණේ නෑනේද?

වෙනදාට ගංවතුරක් එනවා කියලා තේරෙන කොට කලින්ම කිව්වේ නැහැ. හැබැයි ගංවතුර ගලන පළාත්වලට බෝට්ටු දීලා තිබ්බා. එතකොට ඒ මිනිස්සුම ඒක හොඳට කළාමනාකරණය කළා. පිටින් බෝට්ටු එනකම් බලන් හිටියේ නැහැ. නැත්නම් පයාගල, බේරුවල බෝට්ටු එනකම් බලන් ඉන්න ඕනෑ.

එදා තිබුණ සැලසුම් අද වෙන්නේ නැත්තේ ඇයි?

ඒ මේ ආණ්ඩුවට සැලසුමක් නැති නිසා. කවුරුත් වගකීමක් ගන්න කැමැති නැහැ. එදා අපි මේවා ගානට සැලසුම් කළා. මේ පාර ආණ්ඩුව බෝට්ටු දෙන කොට ගංවතුර ගලලා ජීවිත හානිත් වෙලා ඉවරයි. ගංවතුරක් එනවා කියන එක කළුතර ජනතාවට දැනෙනවා. මොකද රත්නපුරට හයියෙන් වැස්සොත් කළුතර පැත්ත යට වෙනවා කියලා අපි දන්නවා. ඒක ආණ්ඩුවේ අය දන්නේ නැත්තේ ඇයි කියන එක ප්‍රශ්නයක්. නාය යන එක ගැන ජනතාව දැනුවත් කරන්න භූ විද්‍යා එකට කියන්න බැරි වුණේ ඇයි. භූ විද්‍යා එක මේක දැනගෙන හිටියේ නැද්ද? කඳු නාය යනවා කිය කියා හැම තිස්සේම හිටියා ඒත් ඒ ප්‍රදේශවලින් ජනතාව ඉවත් කරන්න බැරිවුණා.

කලින් ජනතාව දැනුවත් කරලා එම ස්ථානවලින් ජනතාව ඉවත් කරලයි තිබුණේ?

නැහැ. එහෙනම් ඒ ජනතාව කොහොමද ආයි එතැන පදිංචි වෙන්නේ.

රජය දුන්න ඉඩම්වලට ඒ අය ගිහින් නැහැ. පරණ තැනටම ආයි ඇවිත්?

එහෙම කියලා ආණ්ඩුවට ගැලවෙන්න බැහැ. ඒ අයව ඉවත් කළා නම් ඒ කාර්යය හරියට කරන්න ඕන. ග්‍රාම නිලධාරීන් ඉන්නවනේ. අදාළ නීති කරන්න පුළුවන්නේ. අනික නාය යන කඳු ආශි්‍රත අයව දැන් ඉවත් කරලා. මේ අයට හරියට ඉන්න තැනක් නැහැ. හරියට කෑමක්වත් නැහැ.

ඔබතුමන්ලත් මේ රට කළානේ එදත් මේ වැඩේ හරියට කරන්න තිබුණානේ?

අපි කළා. නමුත් මේ ආණ්ඩුව ඒ වැඩ ටික ඉදිරියට හරියට කළේ නැහැ.

මහින්ද මහත්තයගේ කාලේ සිදුකළ අවිධිමත් සංවර්ධනය නිසා තමයි ගංවතුර තර්ජනය මේ තරම් දරුණු වුණේ කියායි ආණ්ඩුවේ ඇතැමුන්ගේ චෝදනාව වන්නේ?

ඕක කුහක අය විතරයි කියන්නේ. ආණ්ඩුවේම සමහර ඇමැතිවරු කියන්නේ මහින්ද මහත්තයාගේ සංවර්ධනය නිසා ගංවතුර ඇති වුණේ නැහැ කියලා. මේ පාර වුණේ කඳු කඩාගෙන ඇවිත් ගඟවල් හරස් වුණා. ගොඩදාපු වතුරට ගෙවල් කැඩුණා. ගඟවල් ගලන්න අලුත් පාරවල් සොයාගත්තා. ගෙවල් විනාශ වුණා. මේවා මෙහෙම වෙනකොට ආණ්ඩුව නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. වර්ෂාව එනකොට මේ ගැන දැනුවත් වෙන්න ඒවාට පිළියමක් හොයන්න ආණ්ඩුව දැනගන්න ඕන.

මේ ගංවතුරෙන් වුණා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සෝදා පාළුවට ලක්වෙනවා. ඒකට ඔබතුමන්ලයි වගකියන්න ඕන?

අපි වග කියන්න ඕන නැහැ. ඒ අයයි ඒ අයගේ ගමන ගිහින් පක්ෂය විනාශ කරන්නේ. ඒ අය එහෙම යද්දී අපි අපේ ගමන යනවා.

දැන් ඔහොම කිව්වට පක්ෂය එකතු කරන්න ඔබ කපුකමක් කළා නේද?

ඒ ඉස්සර. මමයි ටී. බී. ඒකනායක මහත්තයයි උත්සාහයක් ගත්තා. අපි පරාජය වුණාට පස්සේ හිටපු ජනාධිපතිතුමායි දැන් ජනාධිපතිතුමාවයි මුණගැස්සුවා. වැඩේ හරි ගියේ නැහැ. වැඩක් වුණේ නැහැ. ඒක නිසා අපේ ගමන අපි යනවා.

ඒ කියන්නේ ආයි කවදාවත් ශ්‍රීලනිපය සමඟ ගමනක් නැහැ. එහෙමද?

ඒක ඉදිරියේදි බලමු. දැන්ම හරියට කියන්න බැහැ. දැනට අපි තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. අපි ඒකාබද්ධ විපක්ෂයේ කාර්යය හරියට කරනවා.
ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල්දාන්නේ ඒකාබද්ධයට බය වෙලාද?

මම හිතන්නේ එහෙම තමයි. දැන් අවුරුදු දෙකකට වැඩියි කල් දාලා. නීත්‍යනුකූලව ඡන්ද කල් දාන්න බැහැ. දැන් ගංවතුර නිසා ආයි ඡන්දය කල් දායි. ඉතින් එහෙම කියලා ආණ්ඩුවේ ක්‍රියා කලාපය අනුමත කරන්න බැහැ.

මහින්ද වෙනුවට මහින්ද කියා මහින්ද අමරවීර ඇමැතිතුමා ගෙනවිත් ශ්‍රීලනිපයේ දෙවන පෙළ ශක්තිමත් කරන්න හදනවා. මේ නිසා ශ්‍රීලනිපයේ යම් පෙරළියක් වෙයිද?

ඒක ජනාධිපතිතුමයි ගේන්න හදන්නේ. රටේ ජනතාව නෙමෙයි. නායකයෙක් බිහි වෙන්නේ රටේ ජනතාවගේ කැමැත්තට. නමුත් ජනාධිපතිවරයකුට බැහැ නායකයෙක් බිහිකරන්න. මේක විහිළුවක්. මේක ජනතාව තීන්දු කළ යුතුයි. ජනාධිපතිතුමාට ඕන විදියට නායකයෝ ගේන්න ගියාම පක්ෂය ඉබේම කඩා වැටෙනවා.

මහින්ද අමරවීර මහත්තයා ආවම ඒකාබද්ධය කැඩිලා විනාශ වෙයි. ඒ බය නිසයි ඔබතුමන්ලා ඔහොම කියන්නේ?

මොන පිස්සුද? එයා කවුද? එතුමා එක සැරයක් ඡන්දයෙන් පරාජය වුණා. එයාව දේශපාලනයට ගෙන ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයා. මහින්ද වෙනුවට මහින්ද ගෙනාවා කියලා දකුණෙන් මහින්ද රාජපක්ෂව එළවන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයල අවුරුදු 65ක කාලයක විතර ඉඳන් තමයි දකුණේ දේශපාලනය කරන්නෙ. එහෙම පරම්පරාවක් ලෙහෙසියෙන් එළවන්න බැහැ. අයින් කරන්නත් බැහැ. ඔය වැඩෙන් වෙන්නේ මහින්ද අමරවීර මහත්තයා නාය යන එක විතරයි. මහින්ද මහත්තයට මොකුත් කරන්න බැහැ.

හැබැයි එතුමත් හම්බන්තොට?

එතුමා දේශපාලනයට ගෙන ආවෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ නිසා මහින්ද අමරවීර මහත්තයාගේ එහෙම අදහසක් තියෙයි කියලා මම හිතන්නේ නැහැ.

මුදල් අමාත්‍යාංශයේ ඇස්තමේන්තු වාර්තාව විගණකාධිපතිවරයා භාර ගැනීම ප්‍රතික්ෂේප කරලා වාර්තාවේ ගණන් හිලව් පරස්පරයි කියා. මුදල් අමාත්‍යාංශයටත් බැරි නම් හරි වාර්තාවක් දෙන්න අනෙක් අමාත්‍යාංශ ගැන කවර කතාද?

මේ ආණ්ඩුවේ නොහැකියාවයි ඉන් පෙන්වන්නේ. මේ ආණ්ඩුව බලයට ආපු දවසේ ඉඳලා රට දවසින් දවස ආපස්සට ගියා. එක දවසක්වත් ඉදිරියට ගියේ නැහැ. මුදල් අමාත්‍යාංශයේ ප්‍රශ්න හරහා පෙන්වන්නේ ආණ්ඩුවේ නොහැකියාව. ආසියාවේ හොඳම මුදල් ඇමැති කියලා සහතිකය අරගෙන ගෙදර එන කොට එයාවත් මාරු කරලා. ඔන්න ඕකයි තත්ත්වය.

පෝය තුන හතරකින් මේ ආණ්ඩුව පෙරළනවා කිව්වා. වැඩේ හරියට වෙයිද?

අපි කොහොම හරි මේ ආණ්ඩුව පෙරළනවා. ඒක ස්ථිරයි. ආප්ප න්‍යායෙන්ම තමයි මේ ආණ්ඩුවත් පෙරළන්නේ. ඒකට අවශ්‍ය කරුණු කාරණා සාකච්ඡා වෙනවා. ඒක කොහොමද වෙන්නේ කියන එක දැන්ම අහන්න එපා. කියන්නත් බැහැ. මේකත් ආප්ප න්‍යායම තමයි.

මවුබිම

Top