LNN SPY

ආණ්ඩුවේ තවත් කෙප්පයක් මාට්ටු… අර්ජුන් මහේන්ද්‍රන් නම interpol එකේ නෑ… රතු වරෙන්තු නිකුත් කළත් මහේන්ද්‍රන් අල්ලන්න බෑ….

Published on: Apr 22, 2018 – මහා බැංකුව මහා දවාලේ කොල්ල කෑ අර්ජුන් මහේන්ද්‍රන්ට ජාත්‍යන්තර පොලීසියෙන් රතු නිවේදනයක් නිකුත් කල බවට පසුගිය 20 වැනිදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලද මේ දක්වා https://www.interpol.int/en වෙබ් අඩවියේ ඒ සම්බන්ධයෙන් සටහනක් මේදක්වා නොමැති අතර Wanted Persons කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රි ලාංකිකයන් 19 දෙනෙකු සහ Missing person කණ්ඩායම නියෝජනය කරමින් ශ්‍රි ලාංකිකයන් 2 නෙකු පමණී.

මේ අතර කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පෙන්වා දෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය රතු වරෙන්තු නිකුත් කළත් ඒ අර්ජුන් මහේන්ද්‍රන් ස්ව කැමැත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණ අධිකරණයට භාර නොවී දිගටම සිංගප්පුරුවේම සිටිය හොත් ඔහු කිසිදු දිනක අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිට පවා නොහැකි බවයි.

සිංගප්පුරුව ජාත්‍යන්තර පොලීසියත් සමග කිසිදු ගිවිසුමක් අත්සන් කර නොතිබීම ඊට හේතුව බව පෙන්වා දුන් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා සිංගප්පුරුව, මෙක්සිකෝව, නයිජිරියාව යන රටවල් ජාත්‍යන්තර ජාත්‍යන්තර පොලිසිය සමග කිසිදු ගිවිසුමකට අත්සන් කර නොමැති නිසා ඒ රටවලට රතු නිවේදන නිකුත් කිරීමට නොහැකි බව ද සඳහන් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සහ සිංගප්පුරුව පොදු රාජ්‍ය මණ්ඩලය නියෝජනය කරන රටවල් බැවින් දෙරට අතර උදර්පන ගිවිසුමක් ඇති කර ගත හොත් අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි බවද එවැනි උදර්පන ගිවිසුමක් අත්සන් කිරීමට නම් සිංගප්පුරුවේ එකඟතාවය තිබිය යුතු බවද ප්‍රතිභා මහානාම හේවා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිගටම සිංගප්පූරුවේ සැඟවී සිටියද මහාධිකරණය මඟින් ඒක පාර්ශවිකව නඩු විභාගයක් පවත්වා ඔහු වරදකරු කළ පසුව, 1958 නිව්යෝර්ක් සම්මුතියට අනුව සිංගප්පුරුවේ ඔහුට හිමි වාණිජ වටිනාකම ශ්‍රී ලංකා රජයට අය කර ගත හැකි බව ද හෙතෙම සඳහන් කළේය.

1958 නිව්යෝර්ක් සම්මුතියට ශ්‍රී ලංකාව වගේම සිංගප්පුරුවද අත්සන් කර තිබෙන නිසා ශ්‍රී ලංකාවේ මහාධිකරණයෙකින් ලබා දෙන නඩු තීන්දුවකට අදාළව දේපළ පවරා ගැනීමක් සිංගප්පුරුවේ අධිකරණය හරහා සිදු කර ගත හැකි බව ද ප්‍රතිභා මහානාම මහතා කියා සිටියි.

මේ අනුව අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සිරදඩුවම් ලබාදීමට නොහැකි වුවත් ශ්‍රී ලංකා මහ බැංකුවට ඔහු සිදු කළ අලාභය සිංගප්පුරුවේ ඔහුට තිබෙන වත්කම්වලින් අය කර ගත හැකි බවද ප්‍රතිභා මහානාම හේවා මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත් අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසිය ඊයේ (20) රතු වරෙන්තුවක් නිකුත් කළ අතර අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත් අඩංගුවට ගැනීමෙන් පසු උදර්පන නීතිය යටතේ ශ්‍රී ලංකාවට බාරදිය යුතු බවද එහි සදහන් වේ.
මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව ගොනු කර ඇති නඩුවේ පළමු සැකකරු ලෙස නම් කර ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා දිගින් දිගටම අධිකරණය මඟ හැර සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මීට පෙර වරෙන්තු නිකුත් කර තිබූ අතර ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව විසින් කරන ලද ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.

2015 ජනවාරි 09 දින පත් වූ රජය විසින් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස පත් කරන ලද්දේ අර්ජුන් මහේන්ද්‍රන් මහතාය. මීට පෙර මහ බැංකුව මුදල් අමාත්‍යාංශය යටතේ පැවති අතර එම රජය යටතේ මහ බැංකුව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශ යටතට පත් කර තිබුණි.

ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළ බැවින් අර්ජුන් මහෙන්ද්‍රන් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් සෘජුවම ඒ මහතාට චෝදනා එල්ල විය.

2017 අගොස්තු 17 පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුවද මහ බැංකුව, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේම පැවති අතර එහි අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් මහතා තව දුරටත් කටයුතු කළේය.

ඉංග්‍රීසි පාලන සමයේ දී ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය පවත්වා ගෙන යනු ලැබුවේ 1884 අංක 32 දරණ කඩදාසි මුදල් ආඥා පනත යටතේ පිහිටු වන ලද ව්‍යවහාර මුදල් මණ්ඩල පද්ධතිය මඟිනි.

නමුත් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමත් සමඟ රටේ සිදු කිරීමට නියමිත සංවර්ධන අවශ්‍යතා සඳහා මෙම මුදල් මණ්ඩල පද්ධතිය ප්‍රමාණවත් නොවූ නිසා මහ බැංකුවක් පිහිටුවීමට මෙරට රජය විසින් තීරණය කරනු ලැබීය.

ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම බ්‍රිතාන්‍ය රජයෙන් ලබා ගත් අතර ෆෙඩරල් සංචිත මණ්ඩලයේ ආර්ථික විද්‍යාඥයෙකු වූ ජෝන් එක්ස්ටර් මහතා මෙරටට පැමිණ මහ බැංකුව සඳහා අවශ්‍ය නෛතික සහ තාර්කික රාමුව සකස් කළ අතර එම තොරතුරු වාර්තාව හදුන්වනු ලැබුවේ ද එක්ස්ටර් වාර්තාව නමිනි.

ඒ අනුව 1949 අංක 58 දරණ මුදල් නීති පනත යටතේ ලංකා මහ බැංකුව පිහිටු වන ලද්දේ 1950 අගෝස්තු 28 වෙනිදාය. මහ බැංකුවේ ප්‍රථම අධිපතිවරයා වූයේද ජෝන් එක්ස්ටර් මහතාය. 1972 දී ශ්‍රී ලංකාව ජන රජයක් බවට පත් වීමෙන් පසු 1985 දී එම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව ලෙස නැවත ස්ථාපිත කෙරිණ.

මහ බැංකුවේ රහස්‍ය තොරතුරු සිය දියණියගේ සැමියා වන අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ලබාදී සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට චෝදනා එල්ල වී තිබේ.

එමෙන්ම මෙම නඩුවේ දෙවන සහ සිව් වන සැකකරුවන් ලෙස නම් කර ඇත්තේද පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් වන අතර ඔවුන් මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

 

Top