LNN SPY

ජනාධිපති ලේකම් කාර්‍යාලයේ පට්ට හොරු මෙන්න…. තානාපති කාර්යාල වලටත් හොර ලියුම් ගහලා… විජයකලාගේ උපදේශිකාව ජනාධිපති කාර්‍යාලයටත් වැඩක් දිලා, කැසල් ෂෙරීන් සහ රුවන් ධර්මප‍්‍රිය බන්ධනාගාරයට

Published on: Oct 11, 2018- ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂ ව්‍යාජ ලෙස සකස් කර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති වෙත ඉදිරිපත් කරමින් මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගවට ගනු ලැබූ ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු විශේෂ අවස්ථා අධ්‍යක්ෂවරයා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි විජයකලා මහේෂ්වරීගේ පෞද්ගලික උපදේශිකාව ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (10) නියෝග කර හිබේ.

දෙහිවල පදිංචි කැසල් ෂෙරීන් ඔස්මන් (පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයකලා මහේෂ්වරීගේ පෞද්ගලික උපදේශිකාව) සහ නුගේගොඩ මිරිහානේ පදිංචි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කාර්ය මණ්ඩල අධ්‍යක්ෂවරයකු ලෙස සේවය කළ රුවන් ධර්මප‍්‍රිය එදිරිසිංහ යන දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

අදාළ වංචාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ බෑග් සම්බන්ධයෙන් වෙන වෙනම පරීක්ෂාවක් සිදුකර අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට කොළඹ වංචා විමර්ශන ඒකකය වෙත නියෝග කරමින් සැකකරුවන් ලබන 15 වැනිදා තෙක් රක්ෂිත භාරයට පත් කර තිබේ.

පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පාසල් ළමයින් 3,000 ක් සඳහා පොත් බෑග් ලබාදීමට අනුග‍්‍රහය දක්වන ලෙස ඉල්ලා ව්‍යාජ ලෙස සකස් කරන ලද ජනාධිපති ලේකම් කාර්යාල ලිපි ශීර්ෂ යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපතිට ලිපි දෙකක් යොමු කිරීමෙන් සැකකරුවන් රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් වංචා කර ඇති බව කොළඹ වංචා විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබු අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති පෞද්ගලික ලේකම් එරික් ප‍්‍රශන්ත වීරවර්ධන විසිනි.

ජනාධිපති කාර්යාලයේ සේවය කළ රුවන් එදිරිසිංහ නමැති සැකකරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩලයේ අධයක්ෂවරයෙකු ලෙස සේවය කළ බවත් පසුව ඉකුත් අගෝස්තු මස 6 වැනිදා කාර්ය මණ්ඩලයෙන් ඉවත් කරනු ලැබූ බවත් පැමිණිල්ලේ සඳහන් වේ.

මොහු අදාළ තනතුරේ සේවය කරන කාලය තුළ පොළොනන්රුව දිස්ත‍්‍රික්කයේ ළමුන් 3,000 ක් වෙනුවෙන් පාසල් උපකරණ සහිත පාසල් බෑග්, පොත් සහ ලිපිද්‍රව්‍ය ලබාදීම සඳහා දායකත්වය ඉලල්මින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා වෙත ඉකුත් ජුනි මස 1 වැනිදා සහ ජුනි මස 26 වැනිදා ලිපි දෙකක් යොමු කර ඇති බව ද පැමිණිල්ල සඳහන් කර ඇත.

එහෙත් ඉහත ආකාරයට ආධාර එකතු කිරීමක් ජනාධිපති කාර්යාලයෙන් සිදුකර නොමැති අතර මේ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුම්වත් කිරීමෙන් අනතුරුව මෙහි වංචාවක් සිදුවී ඇත්දැයි යන්න සම්බන්ධයෙන් විමර්ශනය කිරීම නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාට බාර දුන් බව ද පැමිණිල්ල සඳහන් කර තිබිණි.

ඒ අනුව මෙම සිද්ධියේ සැකකාර රුවන් එදිරිසිංහ නමැත්තා ලෝක ළමා දිනය වෙනුවෙන් ළමයින්ට ප‍්‍රදානය කිරීම සඳහා පාසල් බෑග් 3,000 ලබාදෙන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍ය ශ‍්‍රී ලංකා තානාපතිගෙන් ඉල්ලීමක් කර ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති ශෙරින් ඔස්මාන් නමැත්තියකගේ නම ද සඳහන් කර ඇතැයි ද කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සිය බී වාර්තාවේ සඳහන් කර ඇත. එසේම, එම ලිපියෙන් ශෙරින් ඔස්මාන් නමැත්තිය ළමා කටයුතු සම්බන්ධයෙන් උපදේශිකාවක ලෙස සඳහන් කර ඇති නමුත්, එවැනි තනතුරක් ජනාධිපති කාර්යාලයේ නොමැති බව ජනාධිපති විමර්ශන අධ්‍යක්ෂ රූබන් වික‍්‍රමාරච්චි මහතා සඳහන් කර ඇතැයි කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙම ලිපිවලට අදාළව සැකකාරිය විසින් ඉකුත් 4 වැනිදා ජනාධිපති කාර්යාලයට පැමිණ ප‍්‍රකාශයක් ලබා දී ඇති බවත් එහිදී ඇය හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ පෞද්ගලික උපදේශිකාවක් වශයෙන් හඳුන්වාගෙන ඇති බවත් සඳහන් වෙයි. එමෙන් ම, මෙම සිද්ධියේ සැකකාර රුවන් එදිරිසිංහ නමැත්තා ජනාධිපතිවරයාට හඳුන්වා දුන්නේ තමා බවත්, ඔහු අදාළ ආධාර ලබා ගැනීම සඳහා එම සම්බන්ධතා සහාය ලබා ගත් බවත් ඇය සඳහන් කර තිබිණ. ඒ අනුව ආධාර වශයෙන් ලබා දුන් පාසල් උපකරණ ඇතුළු පොත් බෑග් 2,500 ක් ලබා දීමට එක`ග වූ බවත් ඒවා අවශ්‍යව තිබුණේ ජනාධිපතිතුමා සහ එතුමාගේ දියණිය අතින් පොළොන්නරුවේ පාසල් දරුවන්ට බෙදා දීමට බවත් ඇය සඳහන් කර ඇත. එම ආධාර සූදානම් කළ නමුත් අදාළ උත්සවය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් දැනුම්දීමක් නොකළ බැවින් ඒවා තානාපති කාර්යාලයේ ම තැබූ බවත් ඇය සඳහන් කර ඇතැයි අධිකරණයට බී වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර තිබිණ.

සැකකාර රුවන් එදිරිසිංහ නමැත්තා ද ඉකුත් 4 වැනිදා ප‍්‍රකාශයක් කරමින් විශේෂ අවස්ථා අධ්‍යක්ෂ ලෙස තමා විවිධ සමාජ සුභ සාධන සහ විශේෂයෙන් දුගී දරුවන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන් කිහිපයක් ඉකුත් වසර 3 ක පමණ කාලයේ සිට සංවිධානය කළ බව ද ජනාධිපතිතුමා දැනුම්වත් කිරීමක් හෝ එතුමාගේ අනුකූලතාවක් හෝ එකඟතාවක් හෝ ලබා නොගෙන ස්ව කැමැත්තෙන්ම ඒවා සිදුකළ බව ද ඔහු සඳහන් කර ඇතැයි බී වාර්තාවේ සඳහන් වෙයි.

ඉහත කාලය තුළ සංවිධානය කළ සියලූ වැඩසටහන් සිදුකරනු ලැබුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර මත බවත් විමර්ශනයට අදාළ වැඩසටහන නව තානාපතිවරයා යටතේ සිදුකළ අතර ඒ සඳහා ශෙරින් ඔස්මන් මහත්මියගේ සම්බන්ධීකරණ සහාය ලබා ගත් බවත් සැකකරු ප‍්‍රකාශ කර ඇතැයි ද බී වාර්තාවේ සඳහන් වේ.

මෙම වැඩසටහන ජනාධිපතිතුමාගේ සහ එම දියණියගේ සහභාගිත්වයෙන් 2018 ලෝක ළමා දිනය නිමිත්තෙන් පොළොනන්රුවේ දී පැවැත්වීමට සැලසුම් කළත් ජනාධිපතිවරයා ඒ වන විට විදේශගත වී සිටි බැවින් ඒ සඳහා නිශ්චිත දිනයක් වෙන් කර නොතිබූ බව ද ඔහු සඳහන් කර ඇත. මෙම වැඩසටහන සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා දැනුම්වත් වීමක් නොතිබූ අතර කලින් සිදුකළ වැඩසටහන් සඳහා ද ප‍්‍රාදේශීය දේශපාලනඥයන්ගේ ප‍්‍රධානත්වයෙන් එම වැඩසටහන් පැවැත් වූ බව ද ඔහු ප‍්‍රකාශ කර ඇතැයි බී වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව සැකකාර රුවන් එදිරිසිංහ විසින් ඉදිරිපත් කරන ලද ලිපි දෙක කොළඹ හිටපු නගරාධිපති අසාද් සාලි මහතා විසින් ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති අතර, මෙම වරද ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 403, 454, 459 වගන්ති ප‍්‍රකාරව දඬුවම් ලබා දිය හැකි වරදක් බව ද කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දී තිබේ.

සැකකරුවන් විසින් පෞද්ගලික ආයතනයක් වෙත ඇනවුම් බාර දී පාසල් බෑග් 2,500 ක් සඳහා ඉන්වොයිස් ලබාගෙන ඇති අතර එක් බෑගයක වටිනාකම රුපියල් 580 ක් ලෙසින් බෑග් 2,300 ක් සඳහා රුපියල් 13,34,000/= කට මිල නියම කර ඇතැයි ද කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දී තිබේ.

මෙහිදී පළවන සැකකාරිය ඉහත ඉන්වොයිස්පත තවත් ආයතනයකට ව්‍යාජ ලෙස වෙනස් කරමින් එක් පාසල් බෑගයක් සහ පාසල් උපකරණ සහිතව රුපියල් 1,570 ක මිල කර බෑග් 2,500 ක් සඳහා වටිනාකම් රුපියල් 39,25,000/= කට වෙනස් කර තානාපති කාර්යාලයේ පෞද්ගලික ලේකම් ජෙනී ෂෙරින් රාජ් මහත්මිය වෙත ඉදිරිපත් කර ඇතැයි ද බී වාර්තාවේ සඳහන් වේ.

Top