LNN SPY

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට බෑ….. තීරණවල පරිවර්තන සිංහල භාෂාවෙන් ඉල්ලූ නීතිඥවරයාට තවත් අභියෝගයක්….!

Published on: Feb 9, 2019- 2018 නොවැම්බර් මස 09 වන දිනැති අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තු විසුරුවීමට අදාල ජනාධිපති විසින් නිකුත් කළ ගැසට් නිවේදනය 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් නඩු තීන්දු ලබා දී ඇති අතර එකී ගැසට් නිවේදනය නීතියට පටහැනි බව දක්වමින් සහන අයද නීතිඥ ලක්සිරි උණවටුන විසින් දපෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සමට සමගාමීව තවත් පෙත්සම් කිහිපයක්ද ගොනු කර තිබූ අතර ඒ සියලු පෙත්සම් විනිසුරුවරු 07 දෙනෙකුගේ විනිශ්චය පීඨයක් ඉදිරියේ කැදවා තිබූ අතර එම පෙත්සම්වල තීරණය දීමට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය බිදවැටෙන ආකාරයට කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කර ඇති බවටද පෙත්සම්කරු විසින් පෙත්සමක් ගොනු කර තිබුණි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීම වැරදි බවට 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු ලබා දී ඇති අතර එකී තීන්දු සිංහල භාෂාවෙන් පරිවර්තන ලබා ගැනීමට පෙත්සම්කරු පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ කරුණු දක්වා ඇත.

එකී නඩුවේ සියලු කාර්ය සටහන්වල සත්‍ය සහතික පිටපත් පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙතින් ලබා ගෙන ඇති අතර එකී ලේඛන ඉංග්‍රීසි භාෂාවෙන් ඇති හෙයින් පෙත්සම්කරු නිලලත් භාෂා පරිවර්තකයෙකු ‍මගින් සිංහල භාෂාවෙන් පරිවර්තනය කර ගැනීමට උත්සාහ දරා ඇත.

ඉංග්‍රීසි භාෂා පාඨවල අන්තර්ගතයේ පවතින ඉංග්‍රීසි භාෂාදෝෂ හේතුවෙන් එම ලේඛන සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට නොහැකි බව භාෂා පරිවර්තක විසින් පෙත්සම්කාර නීතිඥවරයාට ලිඛිතව දැනුම් දී ඇත.

එම නීතිඥවරයා එකී ලිපිය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරමින් සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට හැකි ආකාරයට නිවැරදි ඉංග්‍රීසි භාෂාවෙන් එකී නියෝග ලබා ගැනීමට මෝසමක් ගොනු කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති සහතික පිටපත්වල ඉංග්‍රීසි භාෂාදෝෂ හේතුවෙන් එය සිංහල භාෂාවට පරිවර්තනය කර ගැනීමට නොහැකි බවට භාෂා පරිවර්තක විසින් දැනුම් දී ඇති ලිපිය පහත දැක්වේ.

 

 

Top