LNN SPY

10% මල්ලි අයියා බේරගන්න මාරන්තික සටනක….. තිබ්බ ලක්ෂ 50ත් නැතිකරගත් රාජපක්ෂලා හිරු සලකුණේ දෙසා බෑ බොරු…….!

Published on – Oct 15, 2019 මෙවර මැතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂට ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඡන්ද 63 ලක්ෂය වෙනුවට මේ වන විට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සතුව ඡන්ද ලක්ෂ 65 ක ප්‍රමාණයක් පවතින බව බැසිල් රාජපක්ෂ සඳහන් කළා.

සිය ප්‍රධානියාගේ සහෝදරයා මරණ දණ්ඩනයෙන් බේරා ගැනීම සඳහා ගෝඨාභය රාජපක්ෂට හා පොහොට්ටුවට නිර්ලෝභිව ගුවන් කාල ලබා දෙමින් නිර්වස්ත්‍රව කඩේ යන ප්‍රසිද්ධ පෞද්ගලික නාලිකාවක ඊයේ පැවති ඒක පුද්ගල දේශපාලන සංවාදයක සහභාගි වෙමින් බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කළා.

එහිදි බැසිල් රාජපක්ෂ සඳහන් කළ පරිදි 2018 පළාත් පාලන මැතිවරණයේදි පොදුජන පෙරමුණට ලැබුණ ජයග්‍රහණය සමඟ මේ වන විට ඔවුන්ගේ ගබඩාවේ ඡන්ද ලක්ෂ 50 ක් තිබේ. 2018  දි ඔවුන්ගේ ඉලක්කය වුයේ 50 + 15 බැවින් මේ වන විටත් ලක්ෂ 50 ක් සතු වන පොහොට්ටුව තව සෙවිය යුත්තේ ලක්ෂ 15 බවයි ඔහු සඳහන් කරන්නේ.

බැසිල් රාජපක්ෂගේ සිහින ගණනය කිරීම අනුව ඉතිරි ලක්ෂ 15 සෙවීම සුරංගනා කතාවක් හා සමාන වන බවයි එම වැඩසටහන පුරාවටම දක්නට ලැබුණේ. විශේෂයෙන්ම බැසිල්ගේ අරමුණ වී ඇත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා දැනටම ගෝඨාභය වෙත සහය දක්වන බව ප්‍රකාශ කොට ඇති තොන්ඩමන් හා විලේන්ද්‍රන් වැන්නගේ සුළු ජාතික ඡන්ද හරහා එම ඡන්ද ලක්ෂ 15 ලබා ගැනීමයි.

සිය සහෝදරයා රජකම් කළ අවධියේ චිට් එකෙන් පාර්ලිමේන්තු ගොස් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් රටේ හදපු පාරක් පාරක් ගානේ, බෝක්කුවක්, බෝක්කුවක් ගානේ, පාලමක් පාලමක් ගානේ 10%ක 15%ක කොමිස් ගත් බැසිල් රාජපක්ෂ සිය ජන්මාන්තර පුරුද්දට මෙන් ඡන්දය ගනන් කරන්නේද 10% ක 15% ක ප්‍රතිශත වලින් වීම ඉහත සුරංගනා කතාවේ හරයයි.

මිනිසුන්ගේ කැමැත්ත හා ආකල්ප සල්ලි මිටි ගණන මෙන් මැනීමට නොහැකි බව හය හතර නොතේරෙන දරුවාට තේරෙන මහා දේශපාලන විද්වතාට නොතේරෙන යථාර්ථයයි.

අනෙක්අතට බැසිල් රාජපක්ෂගේ 15% ප්‍රධාන කාර්යය ඉටු කරන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සහය පොහොට්ටුවට ලැබුණ පලියට ශ්‍රිලංනීප පාක්ෂිකයින්ගේ ඡන්දය පොහොට්ටුවට ලැබෙන බවට ඇති විශ්වාසය පිළිබඳව ඇත්තේ දුකකි.

ශ්‍රිලංනීපයේ මන්ත්‍රිවරුන් නගින නගින වේදිකාවක් මත්තේ හූ හඬ මගින් පොහොට්ටු සමාජිකයා ඔවුනට දක්වන විරෝධය එක් පසකින් තිබියදී ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සියළු ආසන සංවිධායකයින් විසින් කිසිවිටක පොහොට්ටුවට සහය නොදක්වන බව ප්‍රකාශ කිරීම බැසිල් රාජපක්ෂට අමතක ව ගොස් ඇත.

එසේම ඊයේ හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පෞද්ගලික බල ලෝභයට හා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කොන්ද පන නැතිකමට යටකොට විනාශ කිරීමට තමා ජීවත්ව සිටින තාක් ඉඩ නොදෙන බවයි.

මොනතරම් පාරම් බෑවද ශ්‍රි ලංකා නිදහස් පක්ෂය බිහිවි ඇත්තේ බණ්ඩාරනායක මහතාගේ ලේවලින් හා සිරිමාවෝ මැතිණියගේ කඳුළු වලින් බව රාජපක්ෂ පිළිගත යුතුමය. එවන් පක්ෂයක ප්‍රතිපත්ති ආවාට ගියාට හොර ගුලකට පාවා දීමට පාක්ෂිකයන් සූදානම් නැති බව මහා දේශපාලන විතර්ක ඉදිරිපත් කරනා බැසිල් රාජපක්ෂ අමතක කළ යුතු නොවේ.

පොහොට්ටුවට පැල් බැඳගෙන කඩේ ගිය කුමාර වෙල්ගම වැනි හදවතින් ශ්‍රි ලංකාකාරයෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බහුතරය බව බැසිල් රාජපක්ෂකට තේරෙන්නේ නොවැම්බර් 16 වෙනිදා රාත්‍රියේදිය. ලක්ෂ 15 කෙසේවෙතත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් 17 දෙනාගේ ඡන්දය හෝ පොහොට්ටුව දමා ගැනීමේ කැම්පේන් එක දැන් දැන් බැසිල් ආරම්භ කල යුතු කාලය එළඹි ඇත. ඡන්දය තීරණය කරන්නේ බිම් මට්ටමේ ජනතාව මිස පාර්ලිමේන්තු මන්ත්‍රිධූරය නොවන බව දැනටමත් පොහොට්ටුවේ මැතිවරණ මෙහෙයුම් කමිටුව අවබෝධ කොට ගෙන නැත්නම් දැන් හෝ අවබෝධ කරගත යුතුය.

එසේම බැසිල්ගේ සිහින ලක්ෂ 15 ට සහය දෙන තොන්ඩමන් ගා විලේන්ද්‍රන් ගේ ඡන්ද පදනම් ගත් විට 2015 ජනාධිපතිවරණයේදි ඔවුන් දෙදෙනාගේම සහය තිබුණේ හිටපු ජනාධිපති වන මහින්ද අයියණ්ඩියට බව ඔහුට අමතක වූ තවත් කාරණාවකි. එම දෙදෙනාගේම සහයෝගය තිබියදීත් සිය සහෝදරයා පරාජය වූ බව ඔහුට මතක් කර දිය යුතුය.

අනෙක් අතට කොට්ඨාස ක්‍රමයට පවත්වන පළාත් පාලන මැතිවරණය රටම එක ඡන්ද කොට්ඨාසක් වන ජනාධිපතිවරණය අතර වෙනස බැසිල් නොදන්නේ නම් අප කිව යුත්තේ ගබඩාවේ ඇති ඡන්ද ලක්ෂ 50 ඉබ්බෙක් හෝ දමා රැක ගන්නා ලෙසය.

මේ ජනාධිපතිවරණය බැසිල්, ගෝඨාභය, මහින්ද තුන් බෑයන්ට අතිශයින්ම තීරණාත්මකය. එයිනුත් බැසිල් රාජපක්ෂට එම තීරණාත්මක බව වඩාත් වැඩි වශයෙන් දැනෙන්නේ 2015 දි ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව විමල් වීරවංශලා, ගම්මන්පිලලා වැනි දේශප්‍රේමින්ගේ බලය උදුරාගෙන ෆෙඩරල් ක්‍රමයක් වෙනුවෙන් නිර්මාණය කළ පොහොට්ටුවේ හෙට දවස රැදි තිබෙන්නේ මෙම මැතිවරණයේ ජයග්‍රහණය මත බැවිනි. එසේම මේ මැතිවරණය පරජය වීමත් සමඟ බැසිල් රාජපක්ෂගේ දේශපාලන දිවිය පමණක් නොව රාජපක්ෂ හනුහරේම දේශපාලන ගමන අවසන් වනු ඇති. නොවැම්බර් 16 වෙනිදායින් පසුව බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ අමෙරිකාවට යනු ඇති අතර මහින්ද මැදමුලනට පසු බසිනු ඇත. යලිත් ආත්ම ගණනකට රාජපක්ෂවරුන්ට මෙම දේශපාලන කරලිය තුළ හිස ඔසවීමට නොහැකි වනු ඇත. ඒ සමඟම දැනටමත් පරවී ඇති පොහොට්ටුව නටුවෙන් ගැලවි වතුරේ ගිලි යන දවසද නොවැම්බර් මස 16 වෙනිදා වනු ඇත.

 

Top