Breaking
24 Feb 2025, Mon

මෛත්‍රිපාල සිරිසේන කෝප වී ඇත. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රාදේශීය සම්මන්ත්‍රණයක දී කෝපයෙන් කතාකර අභියෝග කර තිබුණේ තමාට වඩා පක්‍ෂය හා රට වෙනුවෙන් කැප වී වැඩ කර ඇති අයකු පෙන්වන ලෙස ය. මම ශ්‍රී ල නි පාක්‍ෂිකයෙක් නො වෙමි. මෛත්‍රිපාලගේ අභියෝගය පාක්‍ෂිකයන්ට පමණක් දැයි නිශ්චිත ව කිව නො හැකි ය. ඒ කුමක් වුවත් මෛත්‍රිපාලට වඩා කැප වී පක්‍ෂයට හා රටට වැඩ කළ දෙදෙනකු  ගැන මට කිව හැකි ය. ඒ චන්ද්‍රිකා කුමාරතුංග හා රාජිත සේනාරත්න ය. ශ්‍රී ල නි පක්‍ෂයේ නොවූවත් චම්පක හා රතන හිමි ද පක්‍ෂයට හා රටට කැප වී වැඩ කළ නායකයෝ වෙති. 

චන්ද්‍රිකා එංගලන්තය වෙනුවෙන් ද අනෙක් සියල්ලෝ ම ඉන්දියාව වෙනුවෙන් ද කැප වී වැඩ කළහ. මෛත්‍රිපාල රට යනුවෙන් අදහස් කරන්නේ ඉන්දියාව විය හැකි ය. ඔවුහු සියල්ලෝ ම රාජපක්‍ෂලාට බය වෙති. ඊනියා රාජපක්‍ෂ රෙජිමය දේශපාලනයෙන් අතුගා දැමීම එංගලන්තයේ හා ඇමරිකාවේ අභිප්‍රාය වුවත් ඒ සඳහා මෛත්‍රිපාල තෝරාගනු ලැබුයේ ඉන්දියාව විසිනි. එහි දී ඉහත සඳහන් අය ද තවත් ඉන්දීය ඒජන්තයෝ ද කැප කිරීමෙන් වැඩ කළ හ. එහෙත් ඒ සෑම කැප කිරීමක් ම යම් ප්‍රතිලාභයක් අරමුණු කරගත්තේ විය. එබැවින් ඒ කැපකිරීම් නො වේ යැයි කෙනකුට තර්ක කළ හැකි ය. අපි ඒ ගැන තර්ක නො කරමු. ඒ කැප කිරීම් ලෙස සලකමු. මෛත්‍රිපාල තවත් කෝප ගැන්වීමට අපට අවශ්‍ය නො වේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් අනාථ වන බව ඉහත කී අය මෙන් ම රනිල්, රවි, කිරඇල්ල ආදීහු ද දනිති. අද කෙසේ නමුත් ගෝඨභය අත් අඩංගුවට ගැනීමේ වෑයමක් ඇත. ඒ සඳහා නීතිපති අතිකාල සේවයෙහි යෙදී සිටිනු දැකිය හැකි ය. උසාවි නියෝගයට වෙනත් අර්ථකථන දීමට ඔවුහු උත්සාහ කරති. යමපාලනයට නිදහස් මැතිවරණයක් කෙසේවත් අවශ්‍ය නො වේ. ඔවුන්ට අවශ්‍ය භීෂණය රජයන මැතිවරණයකි. මෛත්‍රිපාලගේ ද රනිල්ගේ ද කෝපවීම් මගින් පෙන්නුම් කෙරෙනුයේ එය ය. වාසුදේව උඹ කීවාට නම් රනිල් කෝප නො වී ය. රනිල් සමහරවිට උඹ යන්න අසා නැතිවීම එයට හේතුව විය හැකි ය. 

මහින්දට ලැබුණු ඡන්ද පනස්අට ලක්‍ෂය එකකින්වත් අඩු නොවී මැතිවරණයේ දී මහින්ද පිළට (මහින්ද ශ්‍රි ල නි ප –- සංධානයට) ලැබෙනු ඇත. මෙත්‍රිපාලට ලැබුණු ඡන්ද හැටදෙලක්‍ෂය ප්‍රධාන වශයෙන් ම එ ජා ප ඡන්ද හා දෙමළ මුස්ලිම් ඡන්ද ය. ඔහුට ලැබුණු ශ්‍රී ල නි ප ඡන්දවලින් අතිවිශාල බහුතරයක් මහින්ද පිළට ලැබෙනු ඇත. දෙමළ හා මුස්ලිම් ඡන්දවලින් ද සුළු ප්‍රමාණයක් වුවත් මහින්ද පිළට ලැබෙනු ඇත. ඉතිරි කොටස ඔවුන්ගේ ජාතිවාදී ආගම්වාදී පක්‍ෂවලට ලැබෙනු ඇත.  මෛත්‍රිපාල, රාජිත, චම්පක, වෙල් විදානේ පිළට (ඔවුන් එසේ තරග කළහොත්) ලැබෙන්නේ ඉතා සුළු ඡන්ද ප්‍රමාණයකි. තරගය ඇත්තේ මහින්ද පිළ හා එ ජා ප අතර ය. මහින්ද පිළ  තරගයෙන් ජයගනු ඇත. එහෙත් සුළු ජාතික පක්‍ෂවල මන්ත්‍රීවරුන් රනිල්ට සහාය දෙනු ඇත.  මෛත්‍රිපාල ජනාධිපති බලතල යොදා රනිල් අගමැති ලෙස පත්කර ආණ්ඩුවක් පිහිටුවීමට ආරාධනය කිරීමට ඉඩ ඇත. එය ද මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂය වෙනුවෙන් කරන කැප කිරීමක් වනු ඇත! ඒ වැළැක්විය හැක්කේ මහින්ද පිළට මන්ත්‍රීවරුන් 112කට වැඩි පිරිසක් ලබා දීමෙනි. ඒ නොකළ හැක්කක් නො වේ. 

මෛත්‍රිපාලගේ කෝපය සාධාරණ ය. ඔහු සිතූ අයුරින් කරුණු සිද්ධ නො වේ. ඔහුට අද බටහිරයන් හා රනිල් කියන ආකාරයට වැඩ කිරීම හැර වෙනත් විකල්පයක් නැත. එහෙත් ඒ සෑම සිද්ධියකින් ම ඔහු ජනතාවගෙන් තව තවත් ඈත් වෙයි. ඔහුට මහින්ද පිළ සමග එකතු වුවහොත් පමණක් යම් අනාගතයක් ගැන බලාපොරොත්තු තැබිය හැකි ය. එහෙත් බටහිරයෝ එයට ඉඩ නො දෙති. මෛත්‍රිපාල වෙනුවෙන් කළ හැක්කේ කුමක් ද? ඔහුගේ කැපකිරීම් ඔහු රැක බලා ගනු ඇතැයි ඔහු සිතනවා විය හැකි ය. එවිට චම්පක, රාජිත, රතන හිමි ආදීන් රැක ගන්නේ කවු ද? ඉන්දියාව ද? චන්ද්‍රිකාට නම් ඕනෑම වෙලාවක මහගෙදරට (එංගලන්තයට) ගිය හැකි ය.  


නලින් ද සිල්වා


2015 මැයි 24

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.