විශේෂාංග

රනිල්ව ගෙදර යවන මන්තරේ

හරි පැත්තට මැස්ස ගහලා වැල බේරාගත්තොත් වික්‍රමසිංහ නමැති දළඹුවාත් විනාශ කරලා ගෙඩිත් කඩාගන්න පුළුවන්ය. එහෙම වුණොත් මෛත්‍රිපාලගේ නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ ලියැවෙන්නේ රන් අකුරෙන්ය.

“මෙහෙම ගියොත් ඊළඟ මහ ඡන්දෙදි මොනවා වෙයිද?”
හුඟක් අය අහන්නේ එහෙමය.

“මෙහෙම ගියොත් කියලා කියන්නේ කොහොම ගියොත්ද?”

මෙහෙම ගියොත් කියලා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ විදියට භේදභින්න වෙලා මහ ඡන්දයට ගියොත්ය. අසමඟි වෙලා, බෙදිලා, වෙන්වෙලා මහ ඡන්දයට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්නේ 77දී ඔවුන්ට වෙච්ච දේමය. එකමුතු වෙලා, සමඟි වෙලා මහ ඡන්දයට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙන්නේ 70දී ඔවුන්ට වෙච්ච දේමය.

“77දී මොනවද වුණේ?”
“70දී මොනවද වුණේ?”
70දී වුණේ මොනවාද 77දී වුණේ මොනවාද කියලා හොයලා බලන්න කලින් 2015දී වෙන්නේ මොනවාද කියලා හොයලා බලන්න ඕනෑ.
“මහින්ද අගමැති කරවන නුගේගොඩ ජන රැලියට ලක්ෂ 5ක මහ ජන ගඟක්.”
“ශ්‍රී .ල.නි.ප. මහජන නියෝජිතයන්ට මහින්ද අගමැති කරවන මහනුවර රැස්වීමට යෑම තහනම් කරයි.”
“මහින්දව අගමැති කරවන මහනුවර රැලිය නිසා මහනුවර නගරය එකම හිස් ගොඩක් වෙයි.”
“තහනම නොතකා ශ්‍රී .ල.නි.ප. පළාත් සභා හා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරු රැසක් මහනුවර රැලියට සහභාගි වෙති.”
“මහනුවර රැලියට ගිය ශ්‍රී .ල.නි.ප. මන්ත්‍රිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කරන බව රාජිත කියයි.”
“සන්ධාන ආණ්ඩුව පෙරළලා රනිල්ට අගමැතිකම අරන් දෙන්න කුමන්ත්‍රණය කළ රාජිතට එරෙහිවයි මුලින්ම විනය පරීක්ෂණ පැවැත්විය යුත්තේ. – සන්ධාන මන්ත්‍රිවරු කියති.”
“අපි මහින්දවයි මෛත්‍රිපාලයි එකම වේදිකාවට ගේනවා – ඩිලාන් පෙරේරා කියයි.”
“මාවයි මහින්දවයි එකම වේදිකාවට ගේන්න හදන අය මේ මෛත්‍රිපාල කවුද කියලා හරියට දන්නෙ නැහැ. – මෛත්‍රිපාල කියයි.”
“ගමේ ශ්‍රී .ල.නි.ප. පාක්ෂිකයන් ඉල්ලන්නේ මහින්දව. මහින්ද නැතිව ඊළඟ ඡන්දය දිනන්න බැහැ. – බස්නාහිර මහ ඇමැති ප්‍රසන්න රණතුංග කියයි.”
“අගමැති අපේක්ෂකයා ලෙස මහින්දව ඉල්ලා ප්‍රාදේශීය සභාවල ඒකමතිකව යෝජනා සම්මත කරයි.”
“මහින්ද අගමැති අපේක්ෂක කරන ලෙස ඉල්ලා බදුල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරු නිමල් සිරිපාලට, ඩිලාන් පෙරේරාට හා සුසිල් ප්‍රේමජයන්තට විරෝධය පාතිි.”
“දහස් ගණන් ජනයා මහින්ද බලන්න තංගල්ලේ කාල්ටන් නිවෙස ඉදිරිපිට පෝලිම් ගැසී සිටිති.”
“මම පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වෙලා දිනපු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන විතරක් හිතලා වැඩකරන්න මට බැහැ. – එක්සත් ජාතික පක්ෂයේ ලන්ඩන් ශාඛාව හමුවී මෛත්‍රිපාල කියයි.”

පහුගිය දවස්වල පත්තරවල ගිය සිරස්තල අතරින් කිහිපයකි ඔය. මේවායින් පෙන්නුම් කෙරෙන්නේ වෙන මොකක්වත් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතිවෙලා තියෙන බෙදිල්ලය. මේ බෙදිල්ලට ප්‍රධාන හේතුව වෙන මොකක්වත් නොව ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ නායකයා තවමත් මහින්ද වීමය; ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ වීරයා තවමත් මහින්ද වීමය. ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා මෛත්‍රිපාලව දකින්නේ සන්ධාන ආණ්ඩුව පෙරළලා රනිල්ට අගමැතිකම දීලා යූ.ඇන්.පී. ආණ්ඩුවක් හදලා දුන්න කෙනා විදියටය.
මෛත්‍රිපාල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වුණාට ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට ඔහුව පේන්නේ තාත්තා විදියට නොව බාප්පා විදියටය. තාත්තා තවමත් මහින්දය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවෙලා තිබෙන අර්බුදය තාත්තා වෙනුවට බාප්පා ගෙදර ප්‍රධානියා වීමය. ඉතින් ළමයින්ට ඕනෑ වෙලා තියෙන්නේ බාප්පා එළවා දමා තාත්තා ගෙදර ප්‍රධානියා කරගන්නය. හැබැයි බාප්පාට තාත්තා වෙලා ගෙදර ළමයින්ගේ හිත දිනා ගන්න බැරිකමක් නැත.

“තාත්තාගෙයි බාප්පාගෙයි අරගලය දිගට ගියොත් මොනවා වෙයිද?”

ඒකට උත්තර හොයන්න නම් 70දී හා 77දී වුණේ මොනවාද කියලා හොයලා බලන්න ඕනෑය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසය පුරාම ආණ්ඩු පිහිටුවලා තියෙන්නේ සන්ධානගත වෙලාය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 70දී බලයට ආවේ කොමියුනිස්ට් පක්ෂය හා සමසමාජ පක්ෂය එක්ක එකතු වෙලා සමඟි පෙරමුණ හදලාය. සමඟි පෙරමුණ 70 මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ ආසන 116ක් දිනා ගත්තේය. එවකට පාර්ලිමේන්තුවේ මුළු ආසන ගණන වූ 151න් 116ක් දිනාගෙන තුනෙන් දෙකේ බලය සහිත ආණ්ඩුවක් පිහිටුවන්න මැතිනිට පුළුවන් වුණේය.

ඒ 116න් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආසන 91කුත්, සමසමාජ පක්ෂයට ආසන 19කුත්, කොමියුනිස්ට් පක්ෂයට ආසන 6කුත් අයිති වෙලා තිබුණේය. එක්සත් ජාතික පක්ෂයට දිනා ගන්න පුළුවන් වෙලා තිබුණේ ආසන 17ක් පමණි. හැබැයි 77 වන විට මැතිනි සමසමාජ පක්ෂයත්, කොමියුනිස්ට් පක්ෂයත් එක්ක ලොකු ගැටුමක් ඇති කරගෙන තිබුණේය. සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ මැතිනි එක්ක තරහා වෙලා සමඟි පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත් වෙලා තිබුණේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේත් ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තිබුණේය. 77 මහ මැතිවරණයට මැතිනි ගියේ පක්ෂයේ අභ්‍යන්තර සමඟියත් බිඳ වට්ටගෙන, තමන් වටේ හිටපු වාමාංශික නායකයනුත් තරහ කරගෙන තනියෙන්ය. තනියෙන් ආපු මැතිනිට ජේ.ආර්. වට කරලා ගැහුවේය. අන්තිමට සිද්ධ වුණේ 70දී තුනෙන් දෙකක් සහිතව ආණ්ඩුවක් පිහිටුවපු මැතිනි ආසන 8ට ඇද වැටීමය.
77 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දිනා ගන්න පුළුවන් වුණේ ආසන 8ක් පමණි. ආසන 18ක් දිනා ගත්ත ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට විපක්ෂනායකකමත් ගියේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වැනි තැනට ඇද වැටුණේය.

තමන් සමඟ හිටපු වාමාංශික පක්ෂ තරහ කරගෙන, පක්ෂය ඇතුළේ ගැටුම් හදාගෙන 77 මහ ඡන්දයට ගිය මැතිනිට සිද්ධ වුණේ ඉතිහාසයේ පළමුවැනි වතාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුන්වැනි තැනට වට්ට ගන්නය.

තමන් සමඟ සිටින වාමාංශික හා ජාතිකවාදී පක්ෂ තරහ කරගෙන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළේ ගැටුම් හදාගෙන මෛත්‍රිපාල ඊළඟ මහ මැතිවරණයට ගියොත් මෛත්‍රිපාලට වෙන්නේත් 77දී මැතිනිට වෙච්ච දේය.

“එහෙම වුණොත් කවුද දෙවැනි තැනට එන්නේ?”

77දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ දෙවැනි තැනට ආවා වාගේ මෙදා මහින්දට අලුත් පක්ෂයක් හදලා දෙවැනි තැනට එන්න බැරිකමක් නැත. මෛත්‍රිපාලත්, මෛත්‍රිපාල නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ගමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගේ කැමැත්තට පිටුපාලා වැඩ කළොත් ගමේ ශ්‍රී ලංකාකාරයන් මහින්ද වටේ එකතු වෙන එක කාටවත් වළක්වන්න බැරිය. එවැනි තත්ත්වයක් යටතේ මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසකුත් එකතු කරගෙන දිනේෂ්, විමල්, උදය හා වාසුත් එකතු කරගෙන අලුත් පක්ෂයක් හදාගෙන ඊළඟ මහ මැතිවරණයට ආවොත් ගමේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් එකතු වෙන්නේ ඒ අලුත් පක්ෂය වටාය. එතකොට මහින්ද හදන ඒ අලුත් පක්ෂයට දෙවැනි තැනට ලේසියෙන්ම එන්න පුළුවන්ය.

එහෙම වුණොත් 77දී වාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විපක්ෂ නායකකමත්් නැතිවෙලා යන්න පුළුවන්ය. එවැනි තත්ත්වයක් තුළ මහින්ද ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය ඇල්ලුවොත් ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැත.

“මහින්දට එහෙම අලුත් පක්ෂයක් හදලා එක පාරටම දිනන්න පුළුවන්ද?”

කවුරු හරි එහෙම ඇහුවොත් ඒකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය මාලදිවයිනය. අද මාලදිවයිනේ ජනාධිපති යමින් අබ්දුල්ලාය. යමින් අබ්දුල්ලා කියන්නේ මාලදිවයින අවුරුදු 30ක් පාලනය කරපු අබ්දුල් ගයුම්ගේ මල්ලීය. අවුරුදු 30ක් මාලදිවයින පාලනය කරපු ගයුම්ව පැරැද්දුවේ නෂීඩ්ය. නෂීඩ් ගයුම්ව පැරැද්දුවේ මෛත්‍රිපාල මහින්දව පැරැද්දුවා වාගේය.
ගයුම්ව පරද්දලා නෂීඩ් ජනාධිපති වුණත් නෂීඩ්ට වැඩි කාලයක් ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්න බැරි වුණේය. මාලදිවයිනේ ඇතිවුණු වැඩ වර්ජන, උද්ඝෝෂණ හා ගැටුම් නිසා අන්තිමේදී නෂීඩ් ජනාධිපති පුටුවෙන් විසි විය. උප ජනාධිපති වහීඩ් ජනාධිපති පුටුවේ වාඩි වුණේය. හැබැයි වහීඩ්ටත් වැඩි කාලයක් ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්න බැරි වුණේය. 2013 ජනාධිපතිවරණයේදී අබ්දුල් ගයුම්ගේ මල්ලී අබ්දුල්ලා යමින් ජනාධිපති ධුරයට පත් වුණේය. අබ්දුල්ලා යමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ අලුතෙන් හදපු ර්ථීර්ථීර් පක්ෂයෙන්ය. අබ්දුල්ලා යමින් අලුත් පක්ෂයකින් ඡන්දයට ඉදිරිපත් වුණේ ඔහුගේ අයියා වුණු අබ්දුල් ගයුම් නායකත්වය දැරූ ච්අර්ථී පක්ෂයෙන් ගයුම්ව අයින් කරපු නිසාය. අබ්දුල් ගයුම්ව ච්අර්ථී පක්ෂ නායකත්වයෙන් ඉවත් කළේ මහින්දව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් කළා වාගේය.

හැබැයි ච්අර්ථී පක්ෂ නායකත්වයෙන් අබ්දුල් ගයුම්ව ඉවත් කළාට පස්සේ ඔහු අලුතෙන් ර්ථීර්ථීර් නමැති පක්ෂය හදලා ඒ පක්ෂයෙන් මල්ලිව ඉදිරිපත් කරවලා දිනෙව්වේය. ඉතින් ච්අර්ථී පක්ෂ නායකත්වයෙන් ඉවත් කෙරුණු අබ්දුල් ගයුම් අලුතෙන් ර්ථීර්ථීර් පක්ෂය හදලා ච්අර්ථී පක්ෂය පරදවලා ර්ථීර්ථීර් පක්ෂය දිනෙව්වා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන් ඉවත් කෙරුණු මහින්දට අලුත් පක්ෂයක් හදලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරද්දන්න බැරිකමක් නැත. මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ඉල්ලන්නේ මහින්දව නිසා මහින්ද මොකෙන් ඉල්ලුවත් ජනතාව ඔහු වටා එක්රැස් වන එක වළක්වන්න බැරිය.

ඉතින් මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වන එක වළක්වා ගන්න නම් මෛත්‍රිපාලට තිබෙන එකම විසඳුම මහින්ද එක්ක එකඟතාවකට යන එකය. එහෙම නැතිව මහින්දවයි මෛත්‍රිපාලවයි එකම වේදිකාවකට ගේන්න හදන අය මෛත්‍රිපාල කියන්නේ කවුද කියලා දන්නේ නැහැ කියලා පුරසාරම් ‍ෙදාඩව ‍ෙදාඩවා හිටියොත් මෛත්‍රිපාලට වෙන්නේ 77දී මැතිනිට වෙච්ච දේය.

හැමෝම එකා වගේ සමඟියෙන් වැඩ කළොත් ඊළඟ මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජයග්‍රහණය කරන්න පුළුවන්ය. රනිල්ව සදහටම ගෙදර යවන්න පුළුවන්ය. ඊළඟ මහ මැතිවරණය දිනන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මතුරන්න ඕනෑ සමඟිය බලය වේ කියන මන්තරයය. හැබැයි ඒ මන්තරය මතුරන්නේ නැතිව මහින්දව පැත්තකට දාලා දිනේෂ්ලා, විමල්ලා, උදයලා, වාසුලා පැත්තකට දාලා මහ ඡන්දය දිනන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැරිය. එහෙම වුණොත් මෛත්‍රිපාලට වෙන්නේ ඇන්.එම්.ලා, කොල්වින්ලා, කෙනමන්ලා, එස්.ඒ. වික්‍රමසිංහලා නැතිව 77දී මැතිනි අනා ගත්තා වගේ අනා ගන්නය.

ඒ නිසා මේ වෙලාවේ වැල යන පැත්ත බලලා හරියට මැස්ස ගහන්න මෛත්‍රිපාලත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වගබලා ගන්න ඕනෑය. ඇත්තම කිව්වොත් මේ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නමැති වැල යන්නේ මැදමුලන පැත්තටය. ඉතින් පොළොන්නරුව පැත්තට මැස්ස ගහලා වැඩක් නැත. හරි පැත්තට මැස්ස ගහලා වැල බේරාගත්තොත් වික්‍රමසිංහ නමැති දළඹුවාත් විනාශ කරලා ගෙඩිත් කඩාගන්න පුළුවන්ය. එහෙම වුණොත් මෛත්‍රිපාලගේ නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඉතිහාසයේ ලියැවෙන්නේ රන් අකුරෙන්ය.

සඳුන් ජීවන්ත

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top