Political

යහපාලනයේ ඉන්නේ මඩකරියන් බව ඔප්පු වෙයි! මට බොරු චොදනා කල දේශපාලනඥයාට නඩු දානවා

එක් අයකුගේ පෞද්ගලික අවශ්‍යතාවක් ඉටුකර ගැනීම සඳහා තමාට අභූත චෝදනා එල්ලකරමින් තමාගේ කීර්ති නාමයට හානිවන පරිදි එල්ලකරන සියලුම චෝදනා ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහතා පවසයි.

එක්තරා පුද්ගලයකු තමන්ගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට අවශ්‍ය පරිදි නීතිය හසුරුවන බවත්, අදාළ පුද්ගලයා කවුදැයි තමන් හඳුනාගෙන සිටින බවත්, ඔහු සම්බන්ධ සියලු තොරතුරු නුදුරේදීම හෙළිදරව් කරන බවත් අලස් මහතා කීය.

ඔහු එසේ ප්‍රකාශ කළේ 2015.04.07 දාතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වීමට
කොළඹදී ඊයේ (07දා) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදීය.

මේ නිවේදනයේ සඳහන් තොරතුරු පිළිබඳව පොලිසිය මේ වන තෙක් කිසිදු විමසීමක් තමන්ගෙන් සිදුකර නොමැති බවත්, චෝදනා එල්ල කරන අදාළ ආයතනයේ කිසිදු නිලධාරියකුගෙන්වත් මේ පිළිබඳව ප්‍රශ්න කර නොමැති බවත් අලස් මහතා පැවැසීය.

එසේ කිසිදු විමර්ශනයකින් තොරව අභූත චෝදනා රැසක් තමාවෙත එල්ල කරමින් තමාගෙන් පෞද්ගලිකව පළිගැනීමේ ක්‍රියා පද්ධතියක් ක්‍රියාත්මක වන බවත්, සියලු චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ටිරාන් අලස් මහතා වැඩිදුරටත් කීය.
ඔහු මෙසේද කීය.

මේ නිවේදනයේ තියෙනවා මගේ ගුවන් ගමන් බලපත්‍රය තහනම් කරලා කියලා. නමුත් ඒ ගැනවත් මට අඩුම තරමේ දැනුම් දීලා නැහැ. මම නිතරම ගමන් බිමන් යන කෙනෙක්. බැරිවෙලාවත් මම අද එහෙම විදේශ ගමනක් එතෙර යන්න හිටියනම් ගුවන්තොටුපොළට යනකම් ඒ ගැන දන්නේ නැහැ.

මේ නිවේදනයේ තියෙන විදියට දූෂණ විරෝධී පෙරමුණ විසින් තමයි පොලිස්පතිට පැමිණිලි කරලා තියෙන්නේ. දැන් හැම දෙයක්ම දූෂණ විරෝධී පෙරමුණ වගේ මොන මොන හරි පෙරමුණකින් තමයි වෙන්නේ. දැන් මේ රටේ පොලිසිය තියෙනවා, පොලිස්පති කෙනෙක් ඉන්නවා, සී.අයි.ඩී. එක තියෙනවා, මේ සියලු දේ තිබුණට එක එක පෙරමුණු තමයි පරීක්ෂණ කරලා තීන්දු දෙන්නෙත්. කිසිම කටඋත්තරයක් මේ ගැන ගන්නේ නැතුව කිසිම වගකිවයුත්තෙක්ගෙන් කරුණු හොයන්නේ නැතිව, මේ වගේ තීරණවලට එන්න පුළුවන්ද? මේකේ එක තැනක තියෙනවා රාඩා ආයතනය කොන්ත්‍රාත්කරුවන්ට මුදල් දීලා ඒ මුදල් ආපසු කොන්ත්‍රාත්කරුවන්ගෙන් ටිරාන් අලස් අරගත්තා කියලා. දැන් මේවා හරි සරල දේවල්නේ. කිසිම සොයා බැලීමක් නැතිව නිවේදන නිකුත් කරනවා. ඉතින් මේ දැන් පොලිස් පරීක්ෂණ වෙන්නේ මෙහෙමද කියලා රටේ ජනතාවට කියන්න ඕන.

පෞද්ගලික චරිත ඉලක්ක කරගෙන දේශපාලන හෝ වෙනත් හේතූන් මත චෝදනා කරලා මඩ ගහන්නයි මේ දේවල් කරන්නේ යැයි ටිරාන් අලස් මහතා ප්‍රකාශ කෙළේය.

මේ පිළිබඳව කතානායකවරයාට දැනුම් දෙන්නේ දැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අලස් මහතා ප්‍රකාශ කෙළේ අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව අද දිනයේ කතානායකවරයාට දැනුම් දෙන බවය.

මාධ්‍ය : මන්ත්‍රිතුමා මේ ව්‍යාපෘතිවලට කැබිනට් අනුමැතිය තිබුණද?

පිළිතුර : ඔව්. මේ රාඩා ආයතනයේ මුළු ව්‍යාපෘතියම කැබිනට් අනුමැතිය ඇතිව කරපු එකක්. කොටින්ම කියනවා නම් කැබිනට් මණ්ඩලය කියපු දේවල් තමයි මේ ආයතනයෙන් කරලා තියෙන්නේ.

මාධ්‍ය : ඔබතුමා මේ චෝදනාවලට එරෙහිව නීතිමය පියවර ගන්නවාද?

පිළිතුර : මෙතැන මට මඩ ගහලා තියෙන්නේ. මීට විරුද්ධව නීතිමය පියවර ගන්නවා.

මාධ්‍ය : මේ පිළිබඳව කාගෙන්වත් ප්‍රශ්න කරලා නැද්ද?

පිළිතුර : සභාපතිගෙනුයි, විධායක නිලධාරීන්ගෙනුයි ප්‍රශ්න කරලා නැති කොට වෙන මොන කතාද? ඒ කැබිනට් මණ්ඩලයේ වර්තමාන ජනාධිපතිතුමා, වර්තමාන විදේශ ඇමැතිතුමා ඇතුළු සියලු දෙනාම හිටියා. ඒ සියලු දෙනාමත් මේක අනුමත කරලා තියෙන්නේ. ඒ ආයතනයේ වැරැදි වෙලා තියෙනවා නම් මේ සියලු දෙනාම තමයි වැරැද්ද කරලා තියෙන්නේ.

මාධ්‍ය : මේ ගැන ඔබතුමාට දැනුම් දීලා නැද්ද?

පිළිතුර : නෑ. කිසිම දැනුම් දීමක් කරලා නැහැ. මේකේ හැටියට මාත් ඇතුළු රාඩා ආයතනයේ පස් දෙනකුගේ ගුවන් ගමන් තහනම් කරන්න කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් අරගෙන තියෙනවා. ඒ දේවත් මේ වෙනකම් අපිට දැනුම් දීලා නැහැ. සාමාන්‍යයෙන් මෙහෙම දෙයක් කරනවානම් විධායක නිලධාරිතුමාගෙන් කටඋත්තරයක් ගන්න ඕන, විස්තර ගන්න ඕන, හරිද කියලා බලන්න ඕන, ඊට පස්සේ මගෙන් කටඋත්තරයක් ගන්න ඕන. ඒ සියලු දේ කරලා තමයි මේ වගේ තීරණයකට එන්න පුළුවන්. එහෙත් ඒ කිසිම දෙයක් නැතිවයි මේ වැඩ කරන්නේ. ඒකෙන්ම පේනවා කොහොමද පරීක්ෂණ පවත්වන්නේ කියලා.

මම මේ ගැන සාලිය වික්‍රමසූරිය මහත්තයාගෙන් ඇහුවා. එයානේ දැන් ඒකේ විධායක අධ්‍යක්ෂතුමා. එතුමා කිව්වේ එතුමා ගාව හැම ලියකියවිල්ලක්ම තියෙනවා. මගෙන් ප්‍රශ්න කළානම් මේ හැම දෙයක්ම දැනගන්න තිබුණා කියලා. 2007දිත් මට මෙහෙම චෝදනා දාලා මාව හිරගත කළානේ. අන්තිමට මොකද වුණේ. අන්තිමේට නීතිපතිම ඇවිත් හැම දෙයක්ම අයින් කරගෙන කිව්වා මෙතුමා කිසිම වරදක් කරලා නැහැ කියලා. ඒ ආණ්ඩුවේම හිටපු අය තමයි දැන් මේකත් කරන්නේ.

මාධ්‍ය : ඔබට මේ චෝදනා කරන්නේ දේශපාලනඥයෙක්ද?

පිළිතුර : ඔව් ඔහු දේශපාලනඥයෙක්.

මාධ්‍ය : මේ ගැන ඔබ නීති උපදෙස් ගන්නවද?

පිළිතුර : ඔව්. අනිවාර්යෙන්ම නීති උපදෙස් ගන්නවා. ඒ වගේම මේ ප්‍රකාශයට විරුද්ධව නඩු දානවා. මොකද මේක තනිකරම මඩ ගහලා මාව හොරෙක් කරල තියෙන්නේ. කිසිම විමර්ශනයක් නැතිව මෙහෙම දෙයක් කරන එක සම්පූර්ණයෙන්ම වැරැදියි.

මාධ්‍ය : ඉතින් ඔබට මේ චෝදනා කරන පුද්ගලයව ආරක්ෂා කරන්නේ ඇයි?

පිළිතුර : ඉතින් මේ චෝදනා කරන්නේ පොලිසියනේ. ඒ පුද්ගලයා පොලිසිය පිටිපස්සේ හැංගිලා තමයි මේ චෝදනා කරන්නේ. ඉතින් මම ඒ පුද්ගලයගේ හුඟක් දේවල් ඉස්සරහට හෙළි කරනවා. අපිට ඒ පුද්ගලයා ගැන සාක්ෂි තියෙනවා. මටත් සාක්ෂි දෙන්න පුළුවන් කරුණු තියෙනවා. මම ඒවා අනිවාර්යයෙන්ම හෙළිකරනවා. රජයේ අතළොස්සක් පොලිසිය පාවිච්චි කරනවා තමන්ට ඕන ඕන දේ කරගන්න. මේකේ හැම තැනම තියෙන්නේ ටිරාන් අලස්, ටිරාන් අලස් කියලා. දෙකේ පන්තියේ

ළමයකුට වුණත් තේරෙනවා මේක කියවපුවාම මේ කරලා තියෙන්නේ ටිරාන් අලස් ඉලක්ක කරගෙන කරන දෙයක් හැරෙන්න වෙන මොකුත් නෙවෙයි කියලා. මේක එක පුද්ගලයෙක්ගේ වැඩක්. ඒ පුද්ගලයාට පුළුවන් පොලිසිය මෙහෙයවලා මිනිසුන්ව අත්අඩංගුවට ගන්න, මඩගහන්න. ඒවා තමයි මේ අයගේ ආසාව.

මාධ්‍ය : ඔබ මේ ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විමසීමක් කළාද?

පිළිතුර : නෑ. සාමාන්‍යයෙන් එහෙම විමසීමක් කරන්නේ මාධ්‍යයනේ. මම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් හැටියට එහෙම විමසන්න අවශ්‍ය නෑනේ. මට හිතෙනවා ඕක පොලිස් මාධ්‍ය ප්‍රකාශක හදපු එකකුත් නෙවෙයි වෙන කවුරුහරි හදලා එයාගේ අස්සනට දාපු එකක්.

මාධ්‍ය : මේකේ සඳහන් මේ එමිල් කාන්තන් කියන කෙනා ඔබ හඳුනනවාද?

පිළිතුර : එයා මම විතරක් නෙවෙයි හැමෝම දන්නවානේ. එයා තමයි එක්සත් ජාතික පක්ෂ රජය කාලේ ජයලත් ජයවර්ධන ඇමැතිතුමාගේ මහජන සම්බන්ධතා නිලධාරියා. එයා කවුද කියලා ජයලත් ජයවර්ධන ඇමැතිතුමත් කියලා තියනවානේ

~~මවුබිම~~

Top