Political

යහපාලනයේ ගොන්පාට් නිසා ලෝක ක්‍රිකට් සාමාජිකත්වය අහිමි වේ?

 ප්‍රජාතන්ත්‍රවාදය කතා කරන යහපාලන ආණ්ඩුව සිදුකළ ක්‍රිකට් සඳහා අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමේ කාරණය හේතුවෙන් ලෝක ක්‍රිකට් සාමාජිකත්වය අහිමි වීමේ අවදානමකට මුහුණපා ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) ප්‍රකාශ කළේය.

ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක්  මතු කරමින් මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා ලබාදුන් නියෝගය අවලංගු කොට සාධාරණ හේතුවක්  නොදක්වා අතුරු කමිටුවක් පත්කිරීම හේතුවෙන්  මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ  අවධානය යොමු කරනු කැමැත්තෙමි.

1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා 2013 ජනවාරි 15 නිකුත් කරන ලද අංක 1793/3 රෙගුලාසි ප්‍රකාරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයද 2015 මාර්තු 31 වන දිනට පෙර පැවැත්වීමට නියමිතව තිබුණි. එහෙත් එම කාල වකවානුව තුළ පැවැති ක්‍රිකට් ලෝක කුසලානය හේතුකොටගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම පරිදි එහි  නිලවරණය අප්‍රේල් මස 30 වන දින බණ්ඩාරනායක ජාත්‍යන්තර  සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවණ ශාලාවේ දී පෙ.ව. 10.30ට පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියෝගය මත ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්තුමිය විසින් 2015.03.10 වන දිනැති ලිපිය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත උපදෙස් ලබා දී තිබේ. එසේ ලබාදුන්  උපදෙස් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවත් 1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා 2013 ජනවාරි 15 නිකුත් කරන ලද අංක 1793/3 රෙගුලාසි ප්‍රකාරව නාම යෝජනා මාර්තු මස 31 වන දිනට පෙර  කැඳවීමටත් නිලවරණය අප්‍රේල් මස 30 වනදා පැවැත්වෙන බවටත් සියලු ඡන්ද හිමි සාමාජිකයන් වෙත දැනුම් දීමට කටයුතු කර ඇත. මෙසේ තිබියදී කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ලබාදුන්  නියෝගය මත නාම යෝජනා කැඳවූ නිලවරණයට ලබාදුන් නියෝගය අවලංගු කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා  විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වෙත මාර්තු 25 වන දින යොදා මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. ක්‍රීඩා රෙගුලාසි සම්බන්ධයෙන් ලබාදුන් අර්ථකථන ප්‍රකාරව සියලු සංගම්වල නිලවරණය මැයි 15 වනදාට පෙර පවත්වන  ලෙසත් එතෙක් දැනට පවතින නිලධාරී මණ්ඩලවල නිල කාලය වලංගු  බවත් සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සියලු සංගම් වෙත දැනුම් දී තිබේ. මෙම නියෝගය ශ්‍රී ලංකා ක්‍රිකට්  ආයතනයට පමණක් වලංගු  නොවීමට බලපා ඇති හේතුව කුමක්ද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා ඇමැතිවරයා විසින් මාර්තු මස 30 වන දින ක්‍රියා කරන බව ප්‍රකාශ කරන ලදී. 2003 වසරේ සිට විටින් විට අතුරු කමිටු  මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාලනය කර ඇති  අතර අවසාන  වශයෙන් 2009 සිට 2012 ජනවාරි දක්වා අතුරු කමිටුව  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය කළේය. එහි සභාපතිවරයා  ලෙස ඩී.එස්. ද සිල්වා මහතාත් ‍ලේකම්වරයා  ලෙස නිශාන්ත රණතුංග මහතාත් ක්‍රියා කොට තිබේ. එම කාලවකවානුව තුළ මහත් ආන්දෝලනයට පත් හම්බන්තොට ක්‍රීඩාංගණයේ ඉදිකිරීම හා ලෝක කුසලානය  ඉලක්ක  කොටගෙන ක්‍රීඩාංගණ ඉදිකිරීම් සිදුවී තිබේ. මේ කාලවකවානුව තුළ රුපියල් බිලියන ගණනක් ක්‍රීඩාංගණ ඉදිකිරීම සඳහා වැය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම මහත් ආන්දෝලනයට තුඩුදුන් රූපවාහිනී විකාශන ගනුදෙනුව 2008 වර්ෂයේ  කරලියට  පැමිණියේද ගාමිණී ලොකුගේ  ඇමැතිවරයා විසින්  පත්කර තිබූ අතුරු කමිටු සමයේදී වීම කාහටත් රහසක්  නොවේ. අතුරු කමිටු සමයේ සිදුවූ  ගනුදෙනු සම්බන්ධයෙන්  පසුගිය කෝප් වාර්තාව මගින්ද කරුණු හෙළි දරව් කර තිබේ.  එම අක්‍රමිකතාවලට වගකිව යුතු පුද්ගලයන්ට කෝප් වාර්තාව පදනම් කරගෙන කටයුතු කළ නොහැකිද? මේ සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් කමිටුවක් පත්කර පරීක්ෂණයක් පැවැත්වීමට හැකියාව තිබියදී ප්‍රජාතන්ත්‍රීය ඡන්ද අයිතිය අහිමි කරමින් අතුරු කමිටුවක් පත් කිරීම කෙතරම් සාධාරණද? 

මේ අනුව රූපවාහිනී විකාශන ගනුදෙනුවක් ආසන්නයේ  අතුරු කමිටුවක් පත්කිරීම අතීතයේ දී පවා සිදුවී ඇති බව පෙනී යයි. එමෙන්ම අතුරු කමිටුවක් පත්ව ඇති අවස්ථාවක ඔවුන් වග කියන්නේ ක්‍රීඩා අමාත්‍යවරයාට පමණි. ඒ සම්බන්ධයෙන් පසු කාලයක වුවද ඡන්දයෙන් පත්වන නිලධාරී  මණ්ඩලයකට විමසිය හැකි අවස්ථා අවම වී තිබේ. මෙවැනි පරිසරයක් තුළ කිසිදු  සාධාරණ හේතුවක් නොදන්වා අතුරු කමිටුවක්  පත්කිරීම  ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන යහපාලනය සුරකින රජයකට සිදු කළ හැකිද යන්න ගැටලුවක් වී තිබේ. සැබවින්ම  මෙම අතුරු කමිටුව පිටුපස ඇත්තේ රූපවාහිනී ගනුදෙනුව හරහා තම මඩි තර කරගැනීමේ  බලා‍පොරොත්තුව ද යන සාධාරණ සැකය මේ මොහොතේ පැනනගී.

පැවැති දූෂණ ක්‍රියාවන් සෙවීම වෙනුවෙන්  මෙම අතුරු කමිටුව පත්කළ බව  ප්‍රකාශ කෙරුණි. එහෙත් කිසිදු  පිළිගත හැකි  සාධාරණ හේතුවක් නිල වශයෙන්  ප්‍රකාශ නොකොට පත් කළ අතුරු කමිටුවට පසුගිය විධායක කමිටුව නියෝජනය කළ භාණ්ඩාගාරිකවරයාත්  විධායක කමිටු සාමාජිකයෙකුත් පත් කර තිබිම විමතිය දනවන්නකි. මන්ද 2013-2015 නිලධාරී මණ්ඩලයේ යම් අක්‍රමිකතාවක් සිදුකර ඇත්නම් එම නිලධාරී  මණ්ඩලයේ සිටි භාණ්ඩාගාරිකවරයාත් විධායක සභිකයෙකුත් පත් කරන්නේ කුමන සදාචාරයක් මතදැයි  ඕනෑම පුරවැසියෙකුට සාධාරණ සැකයක් මතුවේ. එසේ නම් තම පෞද්ගලික අභිමතාර්ථ ඉෂ්ට කරගැනීම සඳහා අතුරු කමිටුව හරහා  හුදු රූපවාහිනී විකාශන ගනුදෙනුව පදනම්  කරගෙන මෙම අතුරු කමිටුව පත්කර ඇද්දැයි  මේ වන විට සාධාරණ සැකයක්  මතුව තිබේ.

ලෝක ක්‍රිකට් සම්මේලනයේ  ව්‍යවස්ථාවේ 2(9) යටතේ දේශපාලන බලපෑම් මත  සිය සාමාජිකත්වයේ සහභාගිත්වයෙන් තොරව පත්වන අතුරු කමිටුවක්  පිළි නොගන්නා බවට පැහැදිලිව සඳහන් කර තිබේ. මේ අනුව ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් සම්මේලනයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිසා එහි සාමාජිකත්වය අත්හිටුවීමේ අවදානමකට මුහුණපා සිටී.

මේ තත්ත්වය තුළ පැනනගින පහත ගැටලුවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව  හමුවේ තබනු  ඇතැයි අපේක්ෂා කරමි.

1. ලෝක ක්‍රිකට් කවුන්සිලය මගින් දේශපාලන බලපෑම් මත අතුරු කමිටුවක් පත් කළහොත් ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය අත්හිටුවීමේ  අවදානමකට ලක්විය හැකි බව ලෝක ක්‍රිකට්  කවුන්සිලයේ ප්‍රධාන විධායකවරයා  විසින් ඊමේල් පණිවුඩයක් මගින් මාර්තු 31 වනදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබිණි. වර්තමානයේ මේ සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද? මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අන්තර් කමිටුව අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය වෙත දැනුම් දී තිබේද? එම ලිපිවල පිටපත්  ඉදිරිපත් කළ හැකිද?

2. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සම්බන්ධයෙන් වඩා වගකීමක් ඇත්තේ ඡන්දයෙන් පත්වන නිලධාරී මණ්ඩලයකට  නොවේද?  අතුරු කමිටුවක් වග කියන්නේ පත්කළ ඇමැතිවරයාට පමණක් නොවේද? ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග අනුව විභාග කළ හැකිද? එම අතුරු කමිටුවත් යම් වරදක් කර ඇත්නම් ඒ සඳහා ඡන්දයෙන්  පත්වන විධායක කමිටුවකට ගත හැකි පියවර සීමාසහිත නොවේද?

3. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට මේ දක්වා සාධාරණ හේතුවක් ප්‍රකාශ කර නොමැත. පසුගිය විධායක කමිටුව නියෝජනය කළ නිලධාරීන්  දෙදෙනෙක්  අන්තර් කමිටුවට පත් කරන්නේ එම විධායක කමිටුව මගින් කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදුකර නොමැති  හෙයින්ද?

4. 2009-2012 කාල වකවානුව තුළ පැවැති අතුරු කමිටුව මගින් සිදුකළ  ක්‍රීඩාංගණ ඉදිකිරීම්වලට අදාළ ගනුදෙනු සම්බන්ධයෙන් මෙවර ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු කමිටුව පත් කිරීමේදී යම් යම් කරුණු ප්‍රකාශ කර තිබේ.  එසේනම් වරද සිදුවී ඇත්තේ අතුරු කමිටු පරිපාලන සමයේ නොවේද? මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට ක්‍රීඩා අමාත්‍යාංශයේ කමිටුවක් මගින් කටයුතු කළ නොහැක්කේ ඇයි? ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන නිලවරණය පැවැත්වීම අත්හිටුවිය යුතුද?

5. අනෙක් සංගම්වල ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය රකිමින් එම නිලවරණ පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදෙමින්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයින් ගේ පමණක් ප්‍රජාතන්ත්‍රීය අයිතිය අහිමි කරන්නේ හුදෙක්ම හදිසියේ  කරලියට පැමිණි රූපවාහිනී විකාශන ගනුදෙනුව නිසා නොවේද?

6. නොඑසේ නම් ක්‍රීඩා අමාත්‍යවරයා  විසින්ම ලබාදුන් නියෝගයක් මත අප්‍රේල් 30 වනදාට කැඳවූ  නිලවරණය ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අවලංගු කිරීමට බලපා ඇති සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ හැකිද?

7. අන්තර් පාලන කමිටුව පත්කර ඇත්තේ කුමන කාලයක් සඳහාද? ඒ සඳහා නිශ්චිත කාල රාමුවක්  තිබේද? එම කාල රාමුවට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ අනුමැතිය ලබාගත හැකිද? නොඑසේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සැබවින්ම  පැවැත්වීමට  අදහස් කරන්නේ කවදාද?

ජාතියේ මඩ නාලිකාව හොට බිම ඇණ ගනී -කෝටි 10කට කෙලවයි!

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top